මරණානුස්මෘතියට අනතුරු වැ කායගතාසතිය දක්වනු ලැබේ. මේ කායගතාසතිය වනාහි බුද්ධෝත්පාද කාලයෙක විනා අන් කලෙක නො ලැබෙන්නේ ය. කිසි අන්‍ය තීර්ථක කෙනෙකුන්ට විෂය නො වන්නේ ය.
“එකධම්මො භික්ඛවෙ භාවිතො බහුලිකතො මහතො සංවෙගාය සංවත්තති, මහතො අත්‍ථාය සංවත්තති. මහතො යොගක්ඛෙමාය සංවත්තති, මහතො සතිසම්පජඤ්ඤාව සංවත්තති, ඥාණදස්සනපටිලාභාය සංවත්තති, දිට්ඨධම්ම සුඛවිහාරාය සංවත්තති, විජ්ජාචිමුත්තිඵල සච්ඡී කිරියාය සංවත්තති. කතමො එකධම්මො? කායගතාසති.”[1]
“අමතං තෙ භික්ඛවෙ පරිභුඤ්ජන්ති යෙ කායගතං සති පරිභුඤ්ජන්ති. අමතං තෙ භික්ඛවෙ න පරිභුඤ්ජන්ති යෙ කායගතා සතිං න පරිභුඤ්ජන්ති.”
“අමතං තෙසං භික්ඛවෙ පරිභුත්තං - පෙ - අපරිභුත්තං -පෙ- පරිහීනං -පෙ- අපරිහීනං -පෙ- විරද්ධං -පෙ- ආරද්ධං යෙසං කායගතාසති ආරද්ධා”[2] යනාදීන් භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් සූත්‍රයන්හි දී නොයෙක් ආකාරයෙන් වර්‍ණනා කරන ලද්දේ ය ‘මහණෙනි! එක ධර්‍මයෙක් භාවිත බහුලීකෘත වූයේ මහත් සංවේග පිණිස, මහත් අර්‍ථ පිණිස, මහත් යෝගක්‍ෂෙම පිණිස, මහත් ස්මෘති සමප්‍රඥ පිණිස, ඥානදර්‍ශන ප්‍රතිලාභ පිණිස, මේ අත් බැව්හි සැප විහරණ පිණිස, විද්‍යාමුක්ති - ඵල ප්‍රතිවේද පිණිස වන්නේ ය. කවර එක ධර්‍මයෙක් ද කායගතාසතිය යි’
‘මහණෙනි! යම් කෙනෙක් කායගතාසති වළඳත් නම් ඔහු නිවන් වළඳති. යම් කෙනෙක් කායගතාසති නො වළඳත් නම් ඔහු නිවන් නො වළඳිත්’
‘මහණෙනි! යම් කෙනෙකුන් විසින් කායගතා සති වැළඳිණි නම් ඔවුන් විසින් නිවන් වැළඳිණි - නො වැළඳිණි නම් නිවන් නො වැළඳිණි-පිරිහිණි නම් නිවන් පිරිහිණි - නො පිරිහිණි නම් නිවන් නො පිරිහිණි - වැරදිණි නම් නිවන් වැරදිණි - නො වැරදිණි නම් නිවන් නො වැරදිණි නම් නිවන් නො වැරදිණි’යනු එහි අර්‍ථ යි.
මෙසේ වර්‍ණනා කොටැ වදාරා වැළිත් “කථං භාවිතා ච භික්ඛවෙ කායගතාසති කථාං බහුලිකතා මහප්ඵලා හොති මහානිසංසා. ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා”[3]
‘මහණෙනි! කෙසේ භාවිත බහුලීකෘත කායගතාසතිය මහත් ඵල මහානිසංස වන්නේ ද, මහණෙනි! මේ සසුන්හි මහණ අරණ්‍ය ගත වූයේ, යනාදීන් ආනාපාණපබ්බ - ඉරියාපථපබ්බ - චතුසම්පජඤ්ඤපබ්බ - පටික්කුලමනසිකාරපබ්බ - ධාතු මනසිකාරපබ්බ - නවසීවථිකපබ්බ යන මේ තුදුස් පබ්බ වශයෙන් දක්වන ලද්දේ ය. ඒ තුදුස් පබ්බ අතුරෙන් ඉරියාපථ - චතුසම්පජඤ්ඤ - ධාතු මනසිකාර යන පබ්බ තුන වදාළේ විදර්‍ශනා වශයෙනි. නවසීවථිකපබ්බ වදාළේ විදර්‍ශනා ඥානයෙහි ම ආදීනවානුපස්සනා වශයෙනි. ඉන් උද්ධුමාතකාදියෙහි යම් සමාධි භාවනාවෙක් සිද්ධ වේ නම් එය අශුභ නිර්‍දෙශයෙහි දක්වන ලද්දේ ය. එවිට මෙහි සමාධි වශයෙන් දැක්විය යුත්තේ ආනාපාණපබ්බය හා පටික්කුලමනසිකාරපබ්බය යි. ඉනුදු ආනාපාණපබ්බය ආනාපාණ සති වශයෙන් වෙන ම කර්‍මස්ථානයෙකි.
“පුනචපරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො, මංසං නහාරූ අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං, හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං, අන්තං අන්තගුණං උදරියං කරීයං, (මත්‍ථලුඞ්ග) පිත්තං සෙමභං පුබ්බෙ ලොහිතං සෙදො මෙදො, අස්සු වසා ඛෙලො සිඞ්ඝානිකා ලසිකා මුත්තං”[4] යි මත්‍ථලුඞ්ග ඇටමිදුලුයෙහි බහා පටික්කුලමනසිකාර වශයෙන් යම් ද්වත්තිංසාකාර කර්‍මස්ථානයක් වදාළ සේක් නම් එය මෙහි ලා “කායගතාසති” ය යි දතයුතු. එහි පාළි වර්‍ණනා පූර්‍වක භාවනා විදිය දක්වනු ලැබේ.
යට දැක්වුණු පාළියෙහි අර්‍ථ මෙසේ ය.
‘මහණෙනි වැළි දු භික්‍ෂු තෙමේ පතුලින් උඩ කෙසගින් යට සිවියෙන් පිරිසුන් මේ චාතුර්‍මහාභුතික පූතිකාය නානාවිධ අසුචියෙන් පිරුණේය’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙ යි. කෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, මේ කයෙහි කෙස් ඇත්තේ ය, මේ කයෙහි ලෝම ඇත්තේ ය. මේ කයෙහි නිය ඇත්තේ ය. මේ කයෙහි දත් ඇත්තේ ය. මේ කයෙහි සම ඇත්තේ ය, මේ කයෙහි මස් ඇත්තේ ය, මේ කයෙහි නහර ඇත්තේ ය, ඇට ඇත්තේ ය, ඇට මිදුලු ඇත්තේ ය, වකුගඩු ඇත්තේ ය, හෘදය ඇත්තේ ය, යකන මංශ ඇත්තේ ය, බඩ දිව ඇත්තේ ය, පිහක මංශ ඇත්තේ ය, පපුකැන් ඇත්තේ ය, අතුණු ඇත්තේ ය, අතුණුබහන් ඇත්තේ ය. උදරිය ඇත්තේ ය, මළ ඇත්තේ ය, පිත ඇත්තේ ය, සෙම ඇත්තේ ය, සැරව ඇත්තේ ය, ලේ ඇත්තේ ය, ඩහදිය ඇත්තේ ය, මේද තෙල් ඇත්තේ ය, කඳුළු ඇත්තේ ය, වුරුණු තෙල් ඇත්තේ ය, කෙළ ඇත්තේ ය, සොටු ඇත්තේ ය, සඳමිදුළු ඇත්තේ ය, මුත්‍ර ඇත්තේ ය.
මෙහි කාය නම් ශරීරය යි. අශුචි රාශියෙක යන අර්‍ථයෙන් ද, කුත්සිත වූ - පිළිකුල් වූ කේසාදීන්ට ද චක්‍ෂුරෝගාදි අනේක රෝග ශතයන්ට ද ආය හෙයින් - උත්පත්තිස්ථාන හෙයින් ද ශරීරය කාය යි කියනු ලැබේ.
ඒ එසේ මැ යි:- පතුලෙහි පටන් උඩ කෙසගෙහි පටන් යට සමෙහි පටන් සරස බඹයක් පරණ වූ මේ ශරීරයෙහි මුළු උත්සාහයෙන් සොයතු දු කිසිවෙක් කිසි මුත්තක් හෝ මැණිකක් හෝ වෛඩුර්‍ය්‍යයක් හෝ අගිලක් හෝ කොකුමක් හෝ කපුරක් හෝ වත්සුණු ආදීන් අතුරෙන් ස්වල්ප පවිත්‍රයක් හෝ නො දක්නේ ය. යළි කුමක් දක්නේ ද, පරම දුර්‍ගන්‍ධ වූ ජුගුප්සා ජනක වූ දර්‍ශනයට පවා නිඃශ්‍රිත වූ කෙස් - ලෝමාදි නානාවිධ අශුභ ම දක්නේ ය. “අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා - පෙ - මුත්තං” යි එහෙයින් කියන ලදී. මේ මෙහි පදසම්බන්‍ධ වර්‍ණනාව යි.