1. වධක පච්චුපට්ඨානය
2. සම්පත්ති විපත්තිය
3. උපසංහරණය
4. කායබහුසාධාරණය
5. ආයු දුබ්බලය
6. අනිමිත්තය
7. අද්ධානපරිච්ඡේදය
8. ඛණපරිත්තය
1. වධක පච්චුපඨානය
වධක පච්චුපට්ඨානය නම් :- වධකයකු එළඹ සිටි සේ මරණය එළඹැ සිටියේය යි සිහි කිරීම ය. “මුගේ හිස සිඳැ ලමි”යි කඩුව ගෙනැ පැමිණි ගෙල පහරනා වධක ඒකාන්තයෙන් එළැඹැ සිටි සේ ම මරණ ද එළඹැ සිටියේය යි සිහිකළ යුතු.
කුමක් හෙයින් ද මරණය උත්පත්තිය සමගම අවුත් ඒකාන්තයෙන් දිවි පැහැර ගන්නා බැවිනි. නයි හතු කැකුළු මුදුණින් පසු සුඟක් ගෙනැ නඟින්නා සේ ම සත්ත්‍වයෝ ජරා - මරණ ගෙනැ ම උපදිති.
ඒ එසේ මැ යි :- ඔවුන්ගේ ප්‍රතිසන්‍ධි චිත්තය උත්පාදයට අනතුරුවැ ම ජරාවට පැමිණැ පර්‍වත ශිඛරයෙන් ගිළිහුණු ගලක් මෙන් සම්ප්‍රයුක්ත ධර්‍ම සමග ම බිඳී යන්නේ ය. මේ ක්‍ෂණික මරණය උත්පත්තිය සමග ම පැමිණි ආකාරය යි. එසේ ම මෙහි දැක්වුණු ජීවිතෙන්‍ද්‍රියොපච්ඡේද මරණය ද උත්පත්තිය සමග ම වන්නේ ය. උදය පර්‍වතයෙන් නැඟුණු සූර්‍ය්‍යයා අස්ත පර්‍වතයට යන්නේ ගිය ගිය තන්හි මඳකුදු නො නැවතී ගමන් කරන්නා සේ, පර්‍වතයෙන් ගලා වැටෙන සැඩ වතුරු ඇති ගංගාව මඳකුදු නො සිටැ ගලා බස්නා සේ මේ සත්ත්‍වයා ද උපන් තැන් පටන් මඳකුදු නො නැවතී මරණයට අභිමුඛ වැ මැ ගමන් කරන්නේ ය කීයේ මැ යි:-
“යමෙකරත්තිං පඨමං - ගබ්භෙ වස්ති මානවො
අබ්භුට්ඨිතො ව සයති - ස ගච්ඡං න නිවත්තති”යි
‘මේ මනුෂ්‍යයා යම් එක රැයෙක මව් කුස පිළිසිඳැ ගන්නේ ද එසේ පිළිසිඳ ගත් හෙතෙමේ අහස නැඟි වළාකුළක් මෙන් මරණය කරා යන්නේ ය. එසේ යන්නේත් ඇසිල්ලකුදු නො නවතින්නේ ය.’
ග්‍රීෂ්ම කාලයෙහි සූර්‍යතාපයෙන් ඇළ-දොළ සිඳී යන්නා සේ උදය කාලයෙහි අපොරසානුගත බන්‍ධන ඇති වෘක්‍ෂ ඵල තුවටුයෙන් ගිලිහී යන්නා සේ මුගුරින් පහළ මැටි බදුන් බිඳී යන්නා සේ, හිරැ රැස් වගුළ පිනි බිඳු වැනසී යන්නා සේ එසේ යන සත්ත්‍වයා මරණයට ආසන්න වන්නේ ය.
එහෙයින් කියන ලදී :-
“අච්චයන්තී අහොරත්තා - ජීවිතං උපරුජ්ඣති,
ආයුඛීයති මච්චානං - කුන්නදීනං ච ඔදකං
ඵලානමිව පක්කානං - පාතො පතනතො භයං
එවං ජාතානමච්චානං - නිච්චං මරණතො භයං
යථා පි කුම්භකාරස්ස - කතං මත්තිකභාජනං,
සබ්බං භෙදනපරියන්තං - එවං මච්චාන ජීවිතං
උස්සාවොව තිණග්ගම්හි - සුරියස්සුග්ගමනං පති
එවමායු මනුස්සානං - මා මං අම්ම නිවාරය”යි.
“රෑ-දාවල් ඉක්මැ යන්නේ ය. ජීවිතය නිරුද්ධ වන්නේ ය. ඇළ-දොළවල ජලය සේ මනුෂ්‍යයන්ගේ ආයුක්‍ෂය වන්නේ ය. විලිකුන් ඵල උදෑසනක් සේ වන භය සේ උපන් සත්ත්‍වයන්ට එක්වන් මරණයෙන් භය පැමිණෙන්නේ ය. කුඹලා තැනූ සියලු මැටි බඳුන් බිඳී යන්නා සේ මිනිසුන්ගේ මුළු ජීවිත බිඳීමෙන් අවසන් වන්නේ ය. සූර්යෝදයයෙහි තණ අග පිනිබිඳක් සේ මිනිසුන්ගේ ආයුක්‍ෂය වන්නේ ය. මෑණියෙනි? පැවිදි වන්නට යන මා නොවළකන්න.”
මෙසේ කඩුව අමෝරා ගත් වධක සේ උත්පත්තිය හා සමග ම පැමිණි මේ මරණය ගෙළ කපාලන ඒ වධක සේ ඒකාන්තයෙන් දිවි පැහැර ගන්නේ ය. දිවි පැහැර නො ගෙන නම් නො නවතින්නේ ය. එසේ හෙයින් උත්පත්තිය සමගම පැමිණි විපත් ද, දිවි පැහැර ගන්නා බැවින් ද, කඩුව අමෝරා ගත් වධක සේ මරණය එළඹැ සිටියේ ම ය යි මෙසේ වධක පච්චුපඨාන වශයෙන් මරණය සිහි කළ යුතු.
2. සම්පත්ති විපත්තිය
සම්පත්ති විපත්ති වශයෙන් මරණය කෙසේ සිහි කළ යුතු ද, සම්පත්ති ශෝභමාන වන්නේ විපත්තියෙකින් නො මැඩෙන තාක් ය. විපත්තියෙකින් නො මැඩෙන සම්පත් නම් ලොව කැල ම නැත්තේ ය. බලනු.
“මුළු පොළෝ වළඳා - කෙළ සිය ගණන් දන් දී
අඩැඹුල් මතෙක අවසනැ - ඉසුරු බවට පැමිණියේ
එ මෙ සිරුරු බෙදෙන් - කළ පින් ගෙවෙත ගොරතර
මරණ මුව වන් දම්සෝ - නිරිඳු විඳියේ දළ සෝ
“සකලං මෙදිනං භූත්‍වා - දත්‍වා කොටිසතං සුඛී,
අද්ධාමලකමත්තස්ස - අනෙන ඉස්සරතං ගතො
තෙනෙව දෙහ බන්‍ධෙන - පුඤ්ඤම්හි ඛයමාගතො,
මරණාභිමුඛො සො පි - අසොකො සොකමාගතො”
තවද සියලු නීරොගත්‍ව ව්‍යාධිය අවසාන කොටැ ඇත්තේ ය. සියලු යෞවන ජරාව අවසාන කොටැ ඇත්තේ ය. සියලු ජීවිත මරණය අවසාන කොට ඇත්තේ ය. මේ සියලු ම ලෝකයා ජාතියෙන් අනු වැ යන ලද්දේ ය. ජරායෙන් වළඳනා ලද්දේ ය. ව්‍යාධියෙන් මඩනා ලද්දේ ය. මරණයෙන් පහරන ලද්දේ යි.
කීයේ මැ යි :-
“යථා පි සෙලා විපුලා - නහං ආහච්ච පබ්බතා
සමන්තා අනුපරියෙය්‍යුං - නිප්පොඨෙන්තා චතුද්දිසා
එවං ජරං ච මච්චූ ච - අධිවත්තන්නි පාණිනො
ඛත්තියෙ බ්‍රාහ්මණෙ වෙස්සෙ - සුද්දෙ චණ්ඩාල පුක්කුසෙ
න කිඤ්චි පරිවජ්ජෙති - සබ්බමෙවාභිමද්දති
න තත්‍ථ හත්‍ථිනං භූමිං - න රථානං න පත්තියා
න චා‘පි මන්තයුද්ධෙන - සක්කා ජෙතුං ධනෙන වා”[1]
‘අහස පැහැර සිටි විශාල ශෛල පර්‍වත සිව් දිගින් මඩිමින් හාත්පසින් පෙරළි පෙරළි එන්නා සේ ජරා - මරණ ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශුද්‍ර-චණ්ඩාල-පුක්කුස යන සියලු සත්ත්‍වයන් මඩිමින් එන්නේ ය. කිසිවකුදු නො හරනේ ය. සියල්ල මැඩලන්නේ ය. (ඒ ජරාමරණයුද්‍ධයෙන් දිනිය හැකි ද නො හැකිය.) එහි ඇතුන්ට යා හැකි නො වේ. රථයන්ට යා හැකි නො වේ. පදාතීන්ට යා හැකි නො වේ. මන්ත්‍ර යුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දිනිය හැකි ද නො වේ.
මෙසේ ජීවිත සම්පත්තිය මරණ විපත්තියෙන් අවසාන බව ව්‍යවස්ථා කරන්නහු විසින් සම්පත් විපත් වශයෙන් මරණය සිහි කළ යුතු යි.
3. උපසංහරණය
අනුන් හා සමග තමන් එළවා බැලීමෙන් මරණය සිහිකළ යුතු. ඒ වනාහි සත් ආකාරයෙකින් කළ යුතු.
(1) යශස් මහත්ත්‍ව වශයෙන්
(2) පුණ්‍ය මහත්ත්‍ව වශයෙන්
(3) ථාම මහත්ත්‍ව වශයෙන්
(4) සෘද්ධි මහත්ත්‍ව වශයෙන්
(5) ප්‍රඥා මහත්ත්‍ව වශයෙන්
(6) ප්‍රත්‍යෙක බුද්ධ වශයෙන්
(7) සම්‍යක් සම්බුද්ධ වශයෙන්
(1) යශස් මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද
මේ මරණය වනාහි මහයසස් ඇති මහ පිරිවර ඇති ධන වාහනයෙන් යුත් මහාසම්මත, මහාමන්‍ධාතු, මහාසුදස්සන, දළ්හනෙමී, නිමි ආදි මහරජවරුන් මතුයෙහි පවා නිසැක වැ ම වැටුණේ ය. මා මතුයෙහි වැටෙති යනු කවර කථා ද
“මහා යසා රාජවරා - මහාසම්මත ආදයො
තෙපි මච්චුවසං පත්තා - මාදිසෙසු කථාව කා.”
‘මහයසස් ඇති මහාසම්මත ආදි ඒ රජදරුවෝ පවා මාරවසයට ගියාහු ය. මා වැන්නවුන් කෙරෙහි කියනු ම කිම?
මේ යශස් මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාරය යි.
(2) පුණ්‍ය මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද
“ජොතියො ජටිලො උග්ගො - මෙණ්ඩකො අථ පුණ්ණකො
එතෙ චඤ්ඤෙ ච යෙ ලොකෙ - මහා පුඤ්ඤාති විස්සුතා
සබ්බෙ මරණමාපන්තා - මාදිසෙසු කථාව කා”
‘ජොතිය, ජටිල, උග්ග, මෙණ්ඩක, පුණ්ණක යන මේ මහ පින් ඇති ලෝක ප්‍රසිද්ධ සිටුවරයෝ ද, තව එබඳු වූ අන්‍යයෝ ද යන සියල්ලෝ මරණයට පැමිණියෝ ය. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,
මේ පුණ්‍ය මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාර යි.
(3) ථාම මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද
“වාසුදෙවො බලදෙවො - භීමසෙනො යුධිට්ඨිලො
චානුරො පියදාමල්ලො - අන්තකස්ස වසං ගතා
එවං ථාමබලූපෙතා - ඉතිලොකම්හි විස්සුතා
එතෙපි මරණං යාතා - මාදිසෙසු කථාව කා.”
‘වාසුදේව, බලදේව, භීමසේන, යුධීෂ්ඨිර, චානුර, පියදාමල්ල යන මොව්හු ද, මාරවසයට ගියෝ ය. මෙසේ ථාම බලයෙන් යුත් ලෝකප්‍රසිද්ධ මේ වීරයෝ පවා මරණයට ගියෝ ය. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,
මේ ථාම මහත්ත්‍ව වශයෙන් සිහිකළ යුතු ආකාර යි.
(4) සෘද්ධි මහත්ව වශයෙන් කෙසේ සිහිකළ යුතු ද
“පාදඞ්ගුට්ඨකමත්තෙන - වෙජයන්තං අකම්පයී
යො නාමිද්ධිමතං සෙට්ඨො - දුතියො අග්ගසාවකො
සොපි මච්චුමුඛං ඝොරං - මිගො සීහමුඛං විය
පවිට්ඨො සහ ඉද්‍ධිහි - මාදිසෙසු කථාව කා.”
සෘද්‍ධිමතුන්ගෙන් අග්‍ර වූ යම් ද්විතීය අග්‍රශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් පය මහපට ඇඟිලි පමණෙකින් වෛජයන්ත ප්‍රාසාදය කම්පා කළෝ ද, උන්වහන්සේ පවා ඒ සා සෘද්‍ධිය හා සමග මෘගයෙක් මෘගෙන්‍ද්‍ර මුඛයට මෙන් ඝෝර වූ මාර මුඛයට පිවිසි සේක. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,
මේ සෘද්ධි මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාර යි.
(5) ප්‍රඥා මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද
“ලොකනාථං ඨපෙත්‍වාන - යෙ අඤ්ඤෙ අත්‍ථි පාණිනො
පඤ්ඤාය සාරිපුත්තස්ස - කලං නාග්ඝන්ති සොළසිං
එවං නාම මහාපඤ්ඤෙ - පඨමො අග්ගසාවකො
මරණස්ස වසං පත්තො - මාදිසෙසු කථාව කා.”
‘සම්බුද්ධයන් වහන්සේ හැරැ අන්‍ය සියලු ප්‍රාණීහු ම ප්‍රඥායෙන් සැරියුත් ස්වාමීන්ට සොළොස් වන කලාවට ද නො අගිති. ඒ සා මහා ප්‍රාඥ වූ ප්‍රථම අග්‍රශ්‍රාවකයන් වහන්සේ පවා මාර වශයට ගිය සේක. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,
මේ ප්‍රඥා මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාරය යි.
(6) ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන් කෙසේ සිහි කළ යුතු ද
ස්වකීය ප්‍රඥා - වීර්‍ය්‍ය බලයෙන් සියලු කෙලෙස් සතුරන් සාධා පසේ බුදු බැව් ලත් කගවෙහෙණ බඳු ස්වයම්භුවරයෝ ද මරණයෙන් මිදී ගන්නට අසමර්‍ථ වූවෝ ය. මම කෙසේ මිදී ගන්නෙම් ද
“තං තං නිමිත්තමාගම්ම - වීමංසන්තා මහෙසයො
සයම්භුඤාණතෙජෙන - යෙ පත්තා ආසවක්ඛයං
එකචරියනිවාසෙන - ඛග්ගසිඞ්ගසමූපමා
තෙපි නාතිගතා මච්චුං - මාදිසෙසු කථාව කා.”
‘අතේ රන් වලලු ගැටුම්, හුණ කිළිල් කිසි තැනෙක නො ලැගුම්” ආදි ඒ ඒ නිමිති ලැබැ පරීක්‍ෂාකාරී වූ යම් මහර්ෂි කෙනෙක් ස්වයම්භුඥාන තේජසින් ආශ්‍රවක්‍ෂයට පැමිණියෝ ද, හුදෙකලා විසුමෙන් කාගවෙහෙණ බඳු ඒ පසේ බුදුවරයෝ ද මාරයා ඉක්ම නො ගියෝ ය. මා වැනියන් කෙරෙහි කවර කථාද,
මේ ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන් සිහි කළ යුතු ආකාර යිහ
(7) සම්‍යක් සම්බුද්ධ වශයෙන් කෙසේ සිහි කළ යුතු ද
අශීති අනුඛ්‍යඤ්ජනයෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා විචිත්‍ර රූපකාය ඇති, සර්‍වාකාර පරිශුද්ධ ශීලස්කන්‍ධාදි ගුණරත්නයෙන් සමෘද්‍ධ ධර්‍මකාය ඇති, යශො මහත්ත්‍ව, පුණ්‍ය මහත්ත්‍ව, ථාම මහත්ත්‍ව, සෘද්ධි මහත්ත්‍ව, ප්‍රඥා මහත්ත්‍ව යන මේ මහත්ත්‍වයන්ගෙන් පරතෙර පත්, අසම වූ අසමසම වූ අප්‍රති පුද්ගල වූ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පවා වැසි දිය භීමෙන් මහගිනි කඳක් සේ මරණ වැසි භීමෙන් නිවීගියසේක.
“එවං මහානුභාවස්ස - යං නාමෙතං මහෙසිනො
න භයෙන න ලජ්ජා ය - මරණං වසමාගතං
නිල්ලජ්ජං වීතසාරජ්ජං - සබ්බසත්තාභිමද්දනං
තයිදං මාදිසං සත්තං - කථං නාභිභවිස්සති”
‘යම් මරණයෙක් ඒ සා මහානුභාව ඇති මහර්ෂීන් වහන්සේට පවා බියෙන් ලජ්ජායෙන් වසයට නො ගියේ නම් විළි - බිය නැති සියලු සතුන් මැඩැ පියනසුලු ඒ මරණය මා වැනි සතකු කෙසේ නම් නො මැඩැ පියා ද,
මේ සම්‍යක් සම්බුද්ධ වශයෙන් සිහි කළ යුතු ආකාර යි.
මෙසේ යශෝමහත්ත්‍වාදියෙන් සමන්විත වූ අන්‍යයන් හා සමග සමානභාවයෙන් මරණය තමා කෙරෙහි එළවා ඒ විශේෂ සත්ත්‍වවරයන්ට සේ මට ද මරණය වන්නේ ය යි සිහි කරත් ම කර්‍මස්ථානය උපචාර ප්‍රාප්ත වේ. මෙසේ උපසංහරණ වශයෙන් මරණය සිහි කළ යුතු.
4. කාය බහු සාධාරණය
ස්වකීය ශරීරය අන්‍ය බොහෝ සත්ත්‍වයන්ට සාධාරණ බව සලකා බැලීමෙන් මරණය සිහි කළ යුතු.
ඒ මෙසේ ය:-
මේ ශරීරය බොහෝ දෙනාට සාධාරණ ය. අසූ කුලයෙක පණුවන්ට සාධාරණ ය. ඒ පණුවන් අතුරෙන් සිවිය ඇසුරු කළ පණුවෝ සිවිය කා දමති. සම ඇසුරු කළ පණුවෝ සම කා දමති. මස ඇසුරු කළ පණුවෝ මස කා දමති. නහර ඇසුරු කළ පණුවෝ නහර කා දමති. ඇට ඇසුරු කළ පණුවෝ ඇට කා දමති. මිදුලු ඇසුරු කළ පණුවෝ මිදුලු කා දමති. ඔව්හු එහිම උපදිති. එහිම දිරති. එහි ම මියති. එහි ම මළ මූ කෙරෙති. ඔවුන්ගේ තිඹිරිගෙය ද, ගිලන් හල ද, සොහොන ද, වැසිකිළිය ද, කෙස කිළිය ද මේ ශරීරය ම ය. හෙ ද ඔවුන්ගේ ප්‍රකෝපයෙන් මරණයට පැමිණෙයි. ඒ අසූකුලයේ පණුවන්ට සේ ම මේ ශරීරය මරණයට හේතු වන නොයෙක් සිය ගණන් අධ්‍යාත්මික රෝගයන්ට ද, බාහිර නයි ගෝනුසු ආදි සත්ත්‍වයන්ට ද සාධාරණය. සිව් මං සන්‍ධියෙහි කළ ඉලක්කයෙහි සියලු දිගින් හෙන ඊ-සැත්-තෝමර-පහණ ආදිය වැදැහෙන්නා සේ මේ ශරීරයෙහි සියලු උපද්‍රවයෝ වැදහෙති. මේ ශරීරය ඒ උවදුරු වලින් ද මරණයට පැමිණෙයි.
වදාළේ මැ යි :-
“ඉධ භික්ඛවෙ භික්ඛු දිවසෙ නික්ඛන්තෙ රත්තියා පනිහිතාය ඉනි පටිසංචික්ඛති. බහුකා ඛො මෙ පච්චයා මරණස්ස - අභි වා මං ඩසෙය්‍ය, විච්ඡිකො වා මං ඩසෙය්‍ය, සතපදී වා මං ඩසෙය්‍ය, තෙන මෙ අස්ස කාලකිරියා, සො මම’ස්ස අන්තරායො. උපක්ඛලිත්‍වා වා පපතෙය්‍ය, භත්තං වා මෙ භූත්තං ව්‍යාපජ්ජෙය්‍ය, පිත්තං වා මෙ කුප්පෙය්‍ය, සෙම්හං වා මෙ කුප්පෙය්‍ය, සත්‍ථකා වා මෙ වාතා කුප්පෙය්‍යුං තෙන මෙ අස්ස කාලකිරියා, සො මම’ස්ස අන්තරායො”[2]
‘මහණෙනි! මේ සසුන්හි භික්‍ෂු දහවල් ගෙවෙත් ම රෑ වත් ම මෙසේ සලකයි. මාගේ මරණයට හේතු බොහෝ ය. නයෙක් හේ ගෝනුස්සෙක් හෝ පත්තෑයෙක් හෝ මා දෂ්ට කෙළේ නම් එයින් මගේ මරණය වන්නේ ය. එසේ වන මරණය මට බුදුන් වදාළ අනුශාසනා කිරීමට අන්තරායකර වන්නේ ය. එසේ ම මම පය පැකිළ වැටුනෙම් නම් වැළඳූ ආහාර හෝ අජීර්‍ණ විණි නම් පිත හෝ සෙම් ශස්ත්‍රක වාත හෝ කිපිණි නම් එයින් මගේ මරණය වන්නේ ය. ඒ මරණය මට බුදුන් වදාළ අනුශාසනාව කිරීමට අන්තරායකර වන්නේ ය, යනු එහි අර්‍ථ යි.
මෙසේ කාය බහුසාධාරණ වශයෙන් මරණය සිහි කළ යුතු.
5. ආයු දුබලත්‍වය
ආයු දුබල වශයෙන් සලකා මරණය සිහි කළ යුතු කෙසේ ද
මේ ආයුෂ වනාහි අබලය, දුර්‍බලය, සත්ත්‍වයන්ගේ ජීවිත ආශ්වාස-ප්‍රශ්වාස පිළිබඳ ය, ශීත-උෂ්ණ පිළිබඳ ය, මහාභූත පිළිබඳ ය, ආහාර පිළිබඳ යි.
ඒ එසේ මැ යි :- මේ ජීවිතය ආශ්වාස-ප්‍රශ්වාස සම වැ පවත්නාතාක් පවත්නේ ය. පිටත නික්මුණු නාසිකා වාතය ඇතුළට නො පිවිසෙත් ම ඇතුළ පිවිසුණු නාසිකා වාතය පිටත නො නික්මෙත් ම සත්ත්‍වයා මෙළේ නම් වේ. එසේ ම මේ ජීවිතය සතර ඉරියව් සම වැ පවත්නා තාක් පවත්නේ ය. කොයෙකක් හෝ අධික වත් ම ආයුෂය සිඳී යෙයි. ශීත - උෂ්ණ ද සම වැ පවත්නා තාක් පවත්නේ ය. අධික ශීතයෙන් හේ අධික උෂ්ණයෙන් හෝ පීඩිත වත්ම වැනසී යෙයි. මහාභූත ද සම වැ පවත්නා තාක් පවතින්නේ ය. පෘථිවි ධාතු හෝ අප් ධාතු ආදීන් අතුරෙන් කිසිවක් හෝ කිපීමෙන් බලසම්පන්න පුද්ගලයෝ ද තද වැ ගත් ශරීර ඇත්තෝ වැ අතීසාරාදි වශයෙන් තෙත් වූ පූතිකාය ඇත්තෝ වැ මහදාහයෙන් පෙළුණෝ වැ සන්‍ධිබන්‍ධන හෝ සිඳී ගියෝ වැ ජීවිතක්‍ෂයට පැමිණෙති. කබලීකාරාභාරය ද සුදුසු අවස්ථාවෙහි ලදහොත් ජීවිතය පවතී. නො ලදහොත් නො පවතී.
6. අනිමිත්තය
අනිමිත්ත වශයෙන් සලකා මරණය සිහි කළ යුතු කෙසේ ද, අනිමිත්ත නම් කාලාදි වශයෙන් ව්‍යවච්ඡේද රහිත බව ය.
සතත්‍වයන්ගේ (1) ජීවිතය, (2) ව්‍යාධිය, (3) කාලය, (4) දේහ නික්‍ෂෙපය, (5) ගතිය යන මේ පස ජීවලෝකයෙහි ව්‍යවචේඡද රහිත ය දැනැ ගත නො හැකිය.
“ජීවිතං ව්‍යාධි කාලො ච - දෙහනික්ඛෙපනං ගති
පඤ්චෙතෙ ජීවලොකස්මිං - අනිමිත්තා න ඤායරෙ.”[3]
(1) ‘මෙ තෙක් කල්ම ජීවත් විය යුතු ය. මින් ඔබ්බෙහි ජීවත් විය යුතු නො වේ’ ය යි ව්‍යවස්ථා රහිත බැවින් ජීවිතය අනිමිත්ත ය.
ඒ එසේ මැ යි :- සත්ත්‍වයෝ කලලාවස්ථායෙහි ද මැරෙති. අර්බුද පෙසි - ඝන අවස්ථායෙහි ද මැරෙති. එක් මැසි - දෙ මැසි - තෙ මැසි - සිව් මැසි - පස් මැසි - දස මැසි කල ද මැරෙති. කුසින් සැහැල්ලු වන කල ද මැරෙති. ඉන් පසු හවුරුදු සියයෙන් මොබ ද ඔබ ද මැරෙත්.
(2) මේ ව්‍යාධියෙන් ම සත්ත්‍වයෝ මැරෙති, අන් ව්‍යාධියෙකින් නො මැරෙති යි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. සත්ත්‍වයෝ ඇස් රෝගයෙනුදු මැරෙති, සෝත රොගාදීන් අතුරෙන් කිසිවකිනුදු මැරෙත්.
(3) මේ කාලයෙහි ම මරණය විය යුතු ය. අන් කලෙක මරණය නො විය යුතු යයි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. සත්ත්‍වයෝ පෙරවරු ද මැරෙති. පස්වරු ආදියෙහි ද මැරෙත්.
(4) මැරෙන්නවුන් ගේ දේහය මෙහි ම වැටිය යුතු ය. අන් තැනෙක නො වැටිය යුතුය යි ව්‍යවස්ථා රහිත බැවින් අනිමිත්ත ය. ඇතුළු ගම උපන්නවුන්ගේ දේහය පිට ගම ද පිට ගම උපන්නවුන්ගේ දේහය ඇතුළු ගම ද ගොඩ උපන්නවුන්ගේ දේහය දියෙහි ද දියෙහි උපන්නවුන්ගේ දේහය ගොඩ ද වැටිය හැකි ය.
(5) මෙයින් චුත වූවත් අසුවල් තැන ඉපදිය යුතුය යි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. දෙව්ලොවින් සැවැ මිනිස් ලොව ද මිනිස් ලොවින් සැවැ දෙව්ලෝ ආදියෙහි ද උපදිත්. මෙසේ සත්ත්‍වයෝ යන්ත්‍රයෙහි යෙදූ ගොනුන් මෙන් ගති පඤ්චක ලෝකයෙහි කැරකෙන්නාහ.
මෙසේ අනිමිත්ත වශයෙන් මරණය සිහි කළ යුතු.
7. අද්ධාන පරිච්ඡේදය
අද්ධාන පරිච්ඡෙද නම් කාල පරිච්ඡෙද ය. මෙකල මනුෂ්‍යයන්ගේ ජීවිතය මෙතෙක් කල් විය යුතු ය යි කාල පරිච්ඡේදයෙක් නැත. යමෙක් වැඩි කල් ජීවත් වන්නේ නම් හේ අව්රුදු සියයක් හෝ ඉන් ස්වල්පයක් වැඩි වැ හේ ජීවත් වන්නේ ය. වදාළේ මැ යි.
“අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු, ගමනීයො සම්පරායො, කත්තබ්බා කුසලං, චරිතබ්බා බ්‍රහ්මචරියං, නත්‍ථි ජාතස්ස අමරණං, යො භික්ඛවෙ චිරං ජීවති, යො වස්ස සතං අප්පං වා භීය්‍යො”[4] යි. ‘මහණෙනි! මිනිසුන්ගේ ආයුෂය ස්වල්ප ය. පරලෝ යා යුතු ය. කුශල කළ යුතු ය. බඹසර විසිය යුතු ය. උපන්නවුන්ගේ නො මැරී සිටීමෙක් නැත. මහණෙනි? යමෙක් වැඩි කල් ජීවත් වේ නම් හේ ශත වර්‍ෂයක් හෝ ඉන් ස්වල්ප වැඩියක් හෝ ජීවත් වේ.’
“අප්පමායු මනුස්සානං - හීළෙය්‍ය නං සුපොරිසො
චරෙය්‍යාදිත්තසීසො‘ව - නත්‍ථි මච්චුස්ස නාගමො.”[5]
‘මිනිසුන්ගේ ආයුෂ ස්වල්ප ය. සත්පුරුෂ ඒ සම්භාවනා නො කරන්නේ ය. හේ හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ ය. මාරයා අනාගමනයෙක් නැත. ඒකාන්තයෙන් මාරයා පැමිණෙන්නේ ය.
තවද,
“භූතපුබ්බං භික්ඛවෙ අරකො නාම සත්‍ථා අහොසි”[6] යනාදීන් වදාළ සප්තෝපමාවෙකින් ප්‍රතිමණ්ඩිත වූ අරක සූත්‍රයෙන් ද මේ අර්‍ථය ප්‍රකාශ වන්නේ ය. යටගිය දවස අරක නම් ශාස්තෘවරයාණකෙනෙක් වූහ. ඔව්හු උපමා සතකින් මරණානුස්මෘතිය ප්‍රකාශ කොටැ ලෝ සතුන් බිය ගන්වා සුචරිතයෙහි යෙදූහ. ‘හිරු උදා වත් ම තණ’ග පිණිබිඳු සේ, දියෙහි නැගි බුබුලු සේ, දිය ඇඳි ඉර සේ, පර්‍වතයෙන් ගලා බස්නා ගංගාව සේ, දිවග කෙළ පිඩ සේ, රත් යකබල මස් කැබැල්ල සේ, මස් ලොඹුව කරා ගෙන යන ගවයා සේ, මනුෂ්‍ය ජීවිතය ඇසිල්ලක් පාසා මරණයට ළං වන්නේ ය. එය ස්වල්පය, විනිශ්චරය, බහු දුඃඛය, බහූපායාසය, නුවණින් දත යුතු ය. කුසල් කටයුතු ය, බඹසර විසිය යුතු ය, උපන්නහුට නො මැරී විසීමෙක් නො වේ’ යනු එහි සංක්‍ෂිප්තාර්‍ථ යි.
“යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති, අහො වතාහං රත්තිං දිවං ජීවෙය්‍යං භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස්සාති. යො ‘පායං භික්ඛවෙ භික්ඛු එවං මරණංති භාවෙති, අහො වතාහං දිවසං ජිවෙය්‍යං -පෙ- අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි -පෙ- අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සංඛාදිත්‍වා අජ්ඣොහරාමි -පෙ- ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු පමත්තා විහරන්ති දන්‍ධං මරණ සතිං භාවෙන්ති ආස වානං ඛයාය.
“යොච ඛවායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති, අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං එකං ආලොපං සංඛාදිත්‍වා අජ්ඣොහරාවි භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස්සාති. යො ‘පායං භික්ඛවෙ භික්ඛු එවං මරණංති භාවෙති, අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං අස්සසිත්‍වා වා පස්සසාමි පස්සසිත්‍වා වා අස්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්‍යං බහුං වත මෙ කතං අස්සාති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු පමත්තා විහරන්ති දන්‍ධං මරණ සතිං භාවෙන්ති ආසවානං ඛයාය”[7] යි වදාළ ධර්‍මය සලකනු. එහි සංක්‍ෂිපතාර්‍ථ මෙසේ ය.
“අහෝ මම එක් රෑ දාවලක් ජීවත් වන්නෙමි නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහි කැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය. අහෝ මම එක් දාවලක් ජීවත් වන්නෙම් නම් යහපති -පෙ- අහෝ මම එක් පිණ්ඩපාතයක් වළඳන තාක් කල් ජීවත් වන්නෙම් නම් යහපති -පෙ- අහෝ මම බත් පිඬු සතරක් පසක් වළඳන තාක් කල් ජීවත් වන්නෙම් නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහිකැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය. මහණෙනි! යම් කෙනෙක් මෙසේ මරණ සති වඩද්ද ඔව්හු දන්‍ධ වැ මරණ සති වඩන්නෝ ය. ඔව්හු ආශ්‍රවක්‍ෂය පිණිස ප්‍රමත්ත වැ වසන්නෝ ය.
‘මහණෙනි! යම් කෙනෙක් “අහෝ මම එක් ආලෝපයක් මුව තබා ගිලින තාක් ජීවත් වන්නෙම් නම් යහපති. -පෙ- ආශ්වාස කොටැ ප්‍රශ්වාස කරන තාක් හෝ ප්‍රශ්වාස කොට ආශ්වාස කරන තාක් හෝ ජීවත් වන්නෙම් නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහි කැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය යි මරණ සති වඩත් නම් ඔව්හු තීක්‍ෂණ වූ මරණ සති වඩන්නෝ ය. ඔව්හු ආශ්‍රවක්‍ෂය පිණිස අප්‍රමධ්ත වැ වසන්නෝ ය.
මෙසේ පිඬු සතරක් පසක් කා ගිලින තරම් කාලයටත් විශ්වාස නො තබා ජීවිත කාලය ස්වල්පයයි අද්ධාන පරිච්ඡේද වශයෙන් මරණය සිහිකළ යුතු යි.
8. ඛණපරිත්තය
ජීවිතය ඉතා ස්වල්ප ක්‍ෂණයක් පවත්නා වශයෙන් ද සලකා මරණය සිහි කළ යුතු. කෙසේ ද පරමාර්‍ථ වශයෙන් සත්ත්‍වයන්ගේ ජීවිත ක්‍ෂණය ඉතා ස්වල්ප ය. එක චිත්ත ක්‍ෂණයක් පමණ වූ ම කාලයක් වන්නේ ය. රථ චක්‍රය පෙරලෙන්නේ එක නෙමි ප්‍රදෙශයෙකින් ම පෙරළෙන්නා සේ සිටින්නේත් එක නෙමි. ප්‍රදෙශයෙකින් ම සිටිනා සේ සත්ත්‍වයන්ගේ ජීවිතය ද එක චිත්ත ක්‍ෂණයෙකින් ම පවත්නේ ය ඒ චිත්ත ක්‍ෂණය නිරුද්ධ කල්හි සත්ත්‍වයා මළේ ය, නිරුද්ධ වූයේ ය යි කියනු ලැබේ.
වදාළේ මැ යි.
“අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්‍ථ, න ජීවති, න ජීවිස්සති. අනාගතෙ චිත්තක්ඛණෙ න ජීවිත්‍ථ, න ජීවති, ජීවිස්සති, පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ න ජීවිත්‍ථ, ජීවති, නජීවිස්සති.” ‘අතීත හෙවත් නිරුද්ධ චිත්තක්‍ෂණයෙහි සත්ත්වයා ජීවත් වූයේ ය. ඒ නිරුද්ධ චිත්තක්‍ෂණයෙන් දැන් ජීවත් වෙමින් සිටින්නේ නො වේ. මතු ජීවත් වන්නේ ද නො වේ. අනාගත චිත්තක්‍ෂණයෙහි සත්ත්වයා ජීවත් වූයේ නො වේ. දැන් ජීවත් වෙමින් සිටින්නේ ද නො වේ. මතු ජීවත් වන්නේ ය. වර්‍තමාන චිත්තක්‍ෂණයෙහි සත්ත්වයා ජීවත් වූයේ නො වේ. දැන් ජීවත් වෙමින් සිටී මතු ජීවත් වන්නේ නො වේ’ යනු එහි අර්‍ථ යි.
“ජීවිතං අත්තභාවො ච - සුඛ දුක්ඛා ච කෙවලා,
එකචිත්තසමායුත්තා - ලහුසො වත්තතෙ ඛණො,
යෙ නිරුද්ධා මරන්තස්ස - තිට්ඨමානස්ස වා ඉධ,
සබ්බෙපි සදිසා ඛන්‍ධා - ගතා අප්පටිසන්‍ධියා.
අනිබ්බත්තෙන න ජාතො - පච්චුප්පන්නෙන ජීවති
චිත්තහඞ්ගා මතො ලොකො - පඤ්ඤත්ති පරමට්ඨියා”
‘ජීවිතය ද, ආත්ම භාවය ද, සුඛ දුඃඛ වේදනාව ද යන මෙය හුදෙක් එක චිත්තක්‍ෂණයෙකින් යුක්ත ය. ජීවිත ක්‍ෂණය වහා පෙරලෙ යි’ (ආත්ම භාව යන්නෙන් මෙහි ජීවිත - වේදනා - විඤ්ඤාණ හැරැ සෙස්ස ගත යුතු ය)
‘මැරෙන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්‍ධයෝ ද, දැන් මෙහි ජීවත් වන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්‍ධයෝ ද යන මේ සියල්ලෝ සමානයෝ ය. ඒ දෙපක්‍ෂයෙහි ම වූවෝ ප්‍රතිසන්‍ධාන (ගැළපීම්) රහිත වැ ම ඉක්ම ගියෝ ය” (ජීවිතය එක චිත්තක්‍ෂණක ය.)
‘මේ ලෝක සත්ත්‍වයා නූපන් සිතින් නූපන්නේ ය. දැන් පවත්නා සිතින් ජීවත් වන්නේ ය. චිත්තයාගේ භඞ්ගයෙන් මැරෙණේ ය’ (ඒ ඒ ධරන සිත් නිසා තිස්සයා ජීවත් වන්නේ ය. යනාදි වචන ප්‍රවෘත්තිය විෂය වූ) සන්තාන ප්‍රඥප්තීය පරමාර්‍ථ යි නො නස්නේ යි.
මෙසේ ඛණපරිත්ත වසයෙන් මරණය සිහි කළ යුතු යි.
මෙසේ දැක්වූ අට ආකාර අතුරෙන් කිසියම් ආකාරයෙකින් සිහි කරත් ම නැවත නැවත සිහිකිරීම් වශයෙන් සිත එකඟ වන්නේ ය. මරණාරම්මණ සතිය පිහිටන්නේ ය. නීවරණ විෂ්කම්භන වන්නේ ය ධ්‍යානාඞ්ග පහළ වන්නේ ය. එසේ වුව ද මරණ අරමුණ ස්වභාව ධර්‍මයක් හෙයින් ද, සංවේග ජනක හෙයින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වැ උපචාර ප්‍රාප්ත ම වන්නේ ය.
ප්‍රශ්නයෙකි - නිර්වාණය අරමුණු කොටැ ලෝකෝත්තර ධ්‍යාන ද ප්‍රථම - තෘතීය අරූපාවචර සිත් අරමුණු කොට ද්විතීයචතුර්‍ථ අරූපාවචර ධ්‍යාන ද අර්පණා ප්‍රාප්ත වේ එහි නිර්වාණය ද, ප්‍රථම - තෘතීය ධ්‍යාන සිත් ද ස්වභාව ධර්‍ම නො වේ ද, මෙහි අර්පණා ප්‍රාප්ත නො වේ ද,
උත්තර මෙසේ යි:- ඔව්හු භාවනා විශේෂ හෙයින් අර්පණා ප්‍රාප්ත වෙති. ලෝකෝත්තර ධ්‍යාන අර්පණා ප්‍රාප්ත වන්නේ විශුද්ධි භාවනාක්‍රම වශයෙනි. අරූපාවචර අර්පණා ප්‍රාප්ත වන්නේ ආරම්මණාතික්‍රම වශයෙනි. මෙහි ඒ දෙ විධිය ම නැති බැවින් අර්පණා ප්‍රාප්ත නො වේ. උපචාර ප්‍රාප්ත ම වේය යි දත යුතු යි.
ඒ මේ ධ්‍යානය ස්මෘති බලයෙන් උපන් බැවින් මරණානුස්මෘතිය යන සංඛ්‍යාවට පැමිණෙන්නේ ය.
මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුණු භික්‍ෂු නිතර අප්‍රමාද වැ වසන්නේ ය. සියලු භාවයන්හි අනභිරති සංඥාව ලබන්නේ ය. ජීවිත තෘෂ්ණාව හැරැපියන්නේ ය. පාපයට ගර්‍හා කරන්නේ ය. සන්නිධි බහුල නො වන්නේ ය. පරීෂ්කාරයෙහි මසුරු මල නැතියෙක් වන්නේ ය. ඔහුට අනිත්‍ය සංඥාව පුරුද්දට යෙයි ඒ අනුසාරයෙන් දුඃඛ සංඥා ද අනාත්ම සංඥා ද වැටහෙයි. මරණසතිය භාවනා නො කොළෝ මරණාසන්න කාලයෙහි ව්‍යාලමෘග - යක්‍ෂ - සර්‍ප - චෞර - වධක යන මොවුන් විසින් අභිභුත වූවන් සේ වහා සන්ත්‍රාසයට - සම්මොහයට පැමිණෙයි. එසේ නො වැ මේ තෙමේ නිර්‍භය වැ අසම්මුඪ වැ කාලක්‍රියා කරන්නේ ය. මේ අත් බැව්හි ඉදින් නිවන් නො ලද්දේ නම් මරණයෙන් මතු සුගති පරායන වන්නේ ය.
“තස්මා හවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො
එවං මහානුභාවාය - මරණානුස්සතියා සදා.”
‘එසේ හෙයින් සුප්‍රාඥ මහානුභාව ඇති මරණානුස්මෘතිය සඳහා ඒකාන්තයෙන් නිතර අප්‍රමාද වඩන්නේ යි’
මරණානුස්මෘතියෙහි විස්තර කථා නිමි.