දේවතානුස්මෘතියට අනතුරු වැ මරණානුස්මෘතිය දක්වනු ලැබේ. මරණ නම් එක් භවයකට ඇතුළත් ජීවිතෙන්‍ද්‍රිය සිඳී යාම ය. එය ජීවිතින්‍ද්‍රියොපච්ඡේද මරණය යි කියනු ලැබේ. ඒ හැරැ සමුචේඡද මරණය, ක්‍ෂණික මරණය, සම්මුති මරණය යි, තවද මරණ තුනෙක් ඇත්තේ ය. සමුචේඡද මරණ නම් රහතන් වහන්සේගේ සියලු සසර දුකින් මිදීම සංඛ්‍යාත මරණය යි. ක්‍ෂණික මරණ නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය යි. සම්මුති මරණ නම් “ගස මැරුණේ ය. ලෝභය මැරුණේ ය” යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත මරණය යි. මේ ත්‍රිවිධ මරණ මෙහි අදහස් නො කරන ලද බව ද මුල දැක්වුනු ජීවිතෙන්‍ද්‍රියොපච්ඡේද මරණය ම අදහස් කරන ලද බව ද දත යුතු යි.
ඒ ජීවිතෙන්‍ද්‍රියෝපච්ඡේද මරණය ද වනාහි කාල මරණය, අකාල මරණය යි යළි දෙවැදෑරුම් වේ. කාල මරණය පුණ්‍යක්‍ෂයයෙන් හෝ ආයුඃක්‍ෂයයෙන් වන්නේ ය. අකාල මරණය උපචේඡදක කර්‍මයෙන් වන්නේ ය.
එහි විස්තරය මෙසේ ය:- උපන් භවයෙහි ආයුසන්තතිය පැවැතීමට හේතු වූ ආහාරාදි ප්‍රත්‍යය සම්පත් ඇත ද ප්‍රතිසන්‍ධි ජනක කර්‍මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය වේ ද, ඒ පුණ්‍යක්‍ෂය මරණය යි. කාල ආහාරාදි සිම්පත් නැති වීමෙන් මෙ කල මිනිසුන්ට ශතවර්‍ෂ ප්‍රමාණ ආයුෂ ක්‍ෂය වීමෙන් සිදුවන මරණය මෙන් යමකුගේ මරණය වේද, එය ආයුඃක්‍ෂය මරණය යි. අකාල මරණය තත් ක්‍ෂණික වශයෙන් ද පූර්‍වකෘත වශයෙන් දැ යි දෙ ආකාරයෙකින් සිදු වේ. දූසීමාරකලාබු රාජාදීන්ට මෙන් ඒ ඇසිල්ලෙහි කළ බලවත් වූ අකුශල කර්‍මයෙන් උන්තැනින් චුතවීම් වශයෙන් සිදුවන මරණය තත් ක්‍ෂණික අකාල මරණය යි. පූර්‍ව ජාතික උපච්ඡේද කර්‍මයෙන් අවියෙන් පැහැර සිය දිවි නසා ගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්‍වකෘත අකාල මරණය යි.
පුණ්‍යක්‍ෂය මරණය, ආයුඃක්‍ෂය මරණය, උපක්‍රම මරණය යන මේ ත්‍රිවිධ මරණය ම යට කී ජීවිතේන්‍ද්‍රියොපච්ඡේද මරණයෙහි ඇතුළත් බව දත යුතු යි. ඒ මරණය පිළිබඳ වූ අනුස්මෘතිය මරණානුස්මෘතිය යි. (මෙහි පුණ්‍යක්‍ෂය මරණය යි කීයේ ප්‍රස්තුත වශයෙනි. පාපාක්‍ෂයයෙන් ද මරණය සිදු වේ. එ බැවින් එය කර්‍මක්‍ෂය මරණය යි ද කියනු ලැබේ. උපන් ලෝකයට නියමිත ආයුෂ තව ශේෂ වැ තිබියදීත් ප්‍රතිසන්‍ධි දුන් කර්‍මයේ ශක්තිය අවසන් වීමෙන් සිදුවන මරණය කර්‍මක්‍ෂය මරණය යි ද ප්‍රතිසන්‍ධි දුන් කර්‍මයේ ශක්තිය තව ශේෂ වැ තිබියදීත් උපන් ලෝකයට නියමිත ආයුෂය අවසන් වීමෙන් සිදුවන මරණය ආයුඃක්‍ෂය මරණය යි ද, කර්‍ම-ආයු යන දෙක්හි ම ශක්තිය තව ශේෂ වැ තිබියදීත් දෘෂ්ටධර්‍ම වශයෙන් හෝ අපරාපරිය වශයෙන් හෝ කළ බලවත් ම අන්‍ය කර්‍මයෙක ශක්තියෙන් සිදුවන මරණය උපච්ඡේදක මරණය යි ද කී නියා දත යුතුයි. මෙයින් මුල් දෙක කාල මරණය යි ද තෙ වැන්න අකාල මරණය යි ද කියනු ලැබේ. කර්‍ම-ආයු දෙක්හි ම ශක්තිය එකවිට අවසන් සිදුවන උභයක්‍ෂය මරණය ද කාල මරණයෙහි ම ඇතුළති.)
මරණානුස්මෘතිය වඩනු කැමැති යෝගී විසින් රහසිගත වැ විවෙක වැ හිඳැ “මරණං භවිස්සති ජීවිතින්‍ද්‍රියං උපච්ඡිජ්ජීස්සති” මරණය වන්නේ ය. ජීවිතෙන්‍ද්‍රිය සිදී යන්නේ ය කියා “මරණං මරණං” ‘මරණය මරණය’ කියා හෝ නුවණින් මෙනෙහි කළ යුතු. නො කොටැ නුනුවණින් මෙනෙහි කරත් හොත් ප්‍රිය පුත්‍රයාගේ මරණය සිහි කිරීමෙහි දී වැදූ මෑණියන්ට මෙන් ප්‍රිය ඇත්තන්ගේ මරණය සිහි කිරීමෙහි ශෝකය උපදින්නේ ය. වෛරීන්ගේ මරණය සිහි කිරීමේදී වෛරීන්ට මෙන් අප්‍රිය ඇත්තන්ගේ මරණය සිහි කිරීමේදී ප්‍රීතිය උපදින්නේ ය. මළ මිනී දැකීමෙහි දී මළ මිනී දවන්නවුන්ට මෙන් මධ්‍යස්ථයන්ගේ මරණය සිහි කිරීමෙහිදී සංවේග නූපදින්නේ ය. තමා මරනු පිණිස කඩුව අමෝරා දිවැ එන වධකයා දැකීමෙහිදී බිය සුල්ලාට මෙන් තමාගේ මරණය සිහි කිරීමෙහිදී භය උපදින්නේ ය. ශෝක ඉපදීම ය, ප්‍රීති ඉපදීම ය, සංවේග නූපදීම ය, බිය ඉපදීමය යන මේ සියල්ල වන්නේ සති-සංවේග-ඤාණ නැති බැවින් ය. එබැවින් ඒ ඒ තන්හි මරා ලූ ද, මැරුණා වූ ද, සතුන් දැකීමෙන් ද, දැක පුරුදු සම්පත විඳි සත්ත්‍වයන් මරණය සිහි කිරීමෙන් ද සති - සංවේග - ඤාණ උපදවා මරණය වන්නේ ය, යනාදි නියායෙන් මෙනෙහි කළ යුතු. නුවණින් මෙනෙහි කෙළේ වන්නේ එසේ කළ විට ය. එසේ කරත් ම තියුණු නුවණැතියන්ගේ නීවරණ විෂ්කම්භන වේ. මරණානුස්මෘති පිහිට යි. කර්‍මස්ථාන උපචාර ප්‍රාප්ත ම වන්නේ ය.
මෙසේ භාවනා කරන කල්හි කර්‍මස්ථාන උපචාර ප්‍රාප්ත නූණි නම් මතු දැක්වෙන අට ආකාරයෙන් මරණය සිහි කළ යුතු.