දායකයන් විසින් කපා, මසා, පඬුපොවා පුදන කඨිනය අවලංගු වන සැටියට අටුවාපාඨ තෝරන්නට මහෝත්සාහයක් ගෙන තිබෙන එක්තරා මහාස්ථවිර නමකගේ නවීන පොතක, දායකයාගෙන් ලද වස්ත්‍රය, සඞ්ඝයා විසින් ම සිවුරක් කොට කඨිනය අතුරන භික්ෂුවට දීම ය, ලද ප්‍රකාර වස්ත්‍රය දීමය. යි දෙයාකාර දීමක් ඇති බව කියා:
“එවං දින්නෙ පන කඨිනෙ සචෙ තං නිට්ඨිතපරිකම්මං හොති ඉච්චෙතං කුසලං. නො චෙ නිට්ඨිතපරිකම්මං හොති සබ්බහෙව සන්නිපතිත්වා ධොවනසිබ්බනරජනානි නිට්ඨාපෙතබ්බානි”
යන අටුවා පාඨයෙන් සඞ්ඝයා විසින් අත්ථාරක භික්ෂුවට පැවරූ කඨින වස්ත්‍රය නිම කළ පරිකර්ම ඇත්තේ නො වේ නම්, සියල්ලන් ම එකතුව සේදීම මැසීම පඬුරැඳීම නිම කළ යුතු යයි දක්වන බව කියා තිබේ. ඒ අටුවා පාඨයෙන් පෙනෙන්නේ ද කඨින වස්ත්‍රය සඞ්ඝයා විසින් භික්ෂුවකට පැවරීමෙන් පසු සේදීම් ආදියට සියලු භික්ෂූන් සහභාගී විය යුතු බව ය. එහෙත් අර නවීන පොතෙහි “පවරා සිවුරු කිරීම ද, සිවුරු කොට පැවරීම ද යන දෙක්හි ම සඞ්ඝයා එක්විය යුතු ම වේ. අහක් වී නම් දුකුළා ඇවැත් වේය” යි කියා තිබේ.
අටුවාවෙහි නො කී, පැවරීමට කලින් සිවුරු කිරීමට එක් නො වීමෙන් දුකුළා ඇවැත් වීම ඒ තෙරුන් වහන්සේ විසින් කොහින් සොයා ගත්තේ දැයි නො දනිමු. අටුවාචාරීන් වහන්සේගේ අදහස “එවං දින්නෙ පන කඨිනෙ” යනාදි පාඨයෙන් කඨින සිවුර නිමවීමට හැමදෙනා වහන්සේ ම එක්විය යුතු බව දැක්වීම නම්, ඒ සඳහා එපමණ දිග වගන්තියක් කීමට වුවමනා නැත. එසේ නම් කිය යුත්තේ “එවං දින්නෙ පන කඨිනෙ සබ්බෙහෙව සන්නිපතිත්වා ධොවන සිබ්බන රජනානි නිට්ඨාපෙතබ්බා” කියා ය. එසේ කී කල්හි වචන බොහෝ ගණනකුත් නැතිව, කිසි අවුලකුත් නැතිව, කවර අවස්ථාවකදී වුව ද කඨිනචීවරකරණයට එක්විය යුතු බව ප්‍රකාශ වේ.
චීවරකරණයට එක්විය යුතු බව දක්වන්නට කියන වාක්‍යය මැදට, ඒ සඳහා ම නම්, “සචෙ තං නිට්ඨිතපරිකම්මං හොති ඉච්චෙතං කුසලං නො ච නිට්ඨිතපරිකම්මං හොති” යනු යෙදීම නිශ්ඵලය. එය යෙදූ කල්හි භික්ෂුවකට දීමට කලින් කඨින චීවරය කරනවා නම්, එයට සඞ්ඝයා එක්විය යුතු බව ද නොකිය වේ. ග්‍රන්ථ කරණයෙන් අතිශයින් ව්‍යක්ත වූ තියුණු බුද්ධිය ඇත්තාවූ අටුවාචාරීන් වහන්සේ එබඳු අවුලක් කරගනිත් ද? අටුවාචාරීන් වහන්සේ “සචෙ තං නිට්ඨිතපරිකම්මං හොති” යි කියා තිබෙන්නේ සඞ්ඝයා විසින් කළ සිවුරක් ගැන නොව, දායකයා විසින් කොට පුදන ලද චීවරයක් ගැනය. එසේ අර්ථය ගත් කල්හි කිසිදු අවුලක් නැත්තේ ය.
සඞ්ඝයා විසින් කඨින චීවරය කොට පසුව කඨිනත්ථාරක භික්ෂුවට පැවරීමේ සිරිතක් ඇති බව නවීන පොතෙහි දැක්වෙන නමුත්, පාළියෙහි හෝ අටුවාටීකාවල හෝ කිසි තැනක භික්ෂුවකට කඨින වස්ත්‍රය සඞ්ඝයා විසින් දීමට කලින්, පූර්වකරණය සිදු කිරීමේ සිරිතක් ඇති බව දක්වා නැත. එය ඒ තෙරුන් වහන්සේගේ හැඟීම් මාත්‍රයෙකි. කඨිනදුස්සයක් උපන් කල්හි සඞ්ඝයා විසින් පිළිපැදිය යුතු ආකාරය පරිවාර පාළියෙහි දැක්වෙන්නේ මෙසේ ය.
“සචෙ සඞ්ඝස්ස කඨිනදුස්සං උප්පන්නං හොති. සඞ්ඝෙන කථං පටිපජ්ජිතබ්බං? අත්‍ථාරකෙන කථං පටිපජ්ජිතබ්බං? අනුමොදකෙන කථං පටිපජ්ජිතබ්බං? සඞ්ඝෙන ඤත්තිදුතියකම්මෙන කඨිනත්ථාරකස්ස භික්ඛුනො දාතබ්බං. තෙන කඨිනත්ථාරකෙන භික්ඛුනා තදහෙව ධොවිත්වා විමජ්ජිත්වා විචාරෙත්වා ජින්දිත්වා සිබ්බෙත්වා රජිත්වා කප්පං කත්වා කඨිනං අත්ථරිතබ්බං.”
‘ඉදින් සඞ්ඝයා හට කඨිනදුස්සයක් උපන හොත් සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද? අත්ථාරකයා කෙසේ පිළිපැදිය යුතු ද? අනුමෝදකයා කෙසේ පිළිපැදිය යුතු ද? සඞ්ඝයා විසින් ඤත්තිදුතියකර්මයෙන් අත්ථාරක භික්ෂුවට දිය යුතු ය. ඒ කඨිනත්ථාරක භික්ෂුව විසින් එදින ම සෝදා, මිරිකා, විචාරා, කඩ කපා මසා, පඬු රඳවා, කප් බිංදු තබා කඨිනය අතුළ යුතුය යනු එහි තේරුම ය.
නිකම්ම වස්ත්‍රය කඨිනත්ථාරක භික්ෂුවට සඞ්ඝයා විසින් පැවරීමක් මිස සිවුරක් කොට පැවරීමක් එහි නො කියැවේ. පූර්ව කාරණය සඞ්ඝයාට නොව කඨිනත්ථාරකයාට අයත් වැඩක් බව ද, කියන ලද පරිවාර පාඨයෙන් පෙනේ. කඨිනත්ථාරයට සුදුසු භික්ෂුවගේ අඞ්ග දැක්වීමේදී “පුබ්බකරණං ජානාති” යි පූර්වකරණය දැනගැනීම පළමු වන අඞ්ගය වශයෙන් දේශනය කර තිබෙන්නේ ද, පූර්ව කරණය කඨිනත්ථාරක භික්ෂුව අයත් කාර්යයක් වන නිසා ය. සඞ්ඝයාට අයත් කාර්යය නම්, කඨිනත්ථාරක භික්ෂුව හට පූර්ව කරණය සඳහා සහාය වීම ය.
භික්ෂුවකට පැවරීමට කලින් සඞ්ඝයා විසින් කඨින චීවරය කිරීම “කඨිනස්ස පුබ්බකරණං ආදි කිරියා මජ්ඣෙ අත්ථාරො පරියොසානං.” යන පරිවාර පාඨයට ද විරුද්ධ ය. පූර්ව කරණය කඨිනය පැවරීමට කලින් කරනවා නම්, චීවරය පැවරීම කඨිනයාගේ මැදට යා යුතුය. පරිවාරයෙහි කඨිනයාගේ මැද වශයෙන් දැක්වෙන්නේ පච්චුද්ධාර - අධිට්ඨාන කිරියා දෙක ය. කරුණු මෙසේ හෙයින් සඞ්ඝයා විසින් සිවුරක් කොට කඨිනත්ථාරකයාට දීමේ ක්‍රමය -
“එවං දින්නෙ පන කඨිනෙ” යනාදි අටුවා පාඨයේ අර්ථය අවුල් කරනු සඳහා, ඒ මහ තෙරුන් වහන්සේ විසින් මවා ගත් කඨිනය පැවරීමේ ක්‍රමයක් බව කිය යුතු ය. එසේ කිරීමේ චාරිත්‍රයක් විනයෙහි සඳහන් නො වතුදු එයින් කඨින විපත්තියක් වන බවක් නම් නො කිය හැකි ය.
“කරණවිපන්නං නාම තදහෙව ඡින්දිත්වා අකතං” යන අටුවා පාඨයත් ඒ පොතෙහි දායකයන් විසින් කර දෙන චීවරය කඨිනයට නුසුදුසු බව දැක්වීමට ගෙන හැර දක්වා තිබේ. මෙය විනය නො දන්නවුන් මුළා කරනු පිණිස ගෙනහැර දැක්වීමට කදිම අටුවා පාඨයෙකි. කඨිනක්ඛන්ධකයෙහි කඨිනය පිළිබඳව කියා ඇති කරුණු නො දන්නා වූ ද, කඨින විපත් තුන ගැන ම නො දන්නාවූ ද, ඕනෑම කෙනකු ඒ පාඨය දක්වා මුළා කළ හැකි ය. “කරණ විපන්නං නාම තදහෙව ඡින්දිත්වා අකතං” යන අටුවාපාඨයේ අදහස නිවැරදිව තේරුම් ගත හැක්කේ කඨින විපත් තුන ම එක් තැන් කොට බැලීමෙනි.
“වත්ථුවිපන්නය, කාලවිපන්නය, කරණවිපන්නය” යි කඨිනත්ථාර විපත් තුනක් පරිවාර පාලියෙහි දැක්වේ. එයින් “වත්ථුවිපන්නය” යනු කඨින වස්ත්‍රය අකප්පිය වස්ත්‍රයක් වීම ය. කඨින වස්ත්‍රය චීවරයකට නුසුදුසු අකප්පිය වස්ත්‍රයක් වී නම්, පූර්ව කරණාදිය කොට එයින් කඨිනය අතුළේ ද සිද්ධියට නො පැමිණේ.
“කාලවිපන්නං නාම අජ්ජ දායකෙහි දින්නං ස්වෙ සඞ්ඝො කඨිනත්ථාරකස්ස දෙති” යි අටුවාවෙහි දැක්වෙන පරිදි, “අද ලද කඨිනදුස්සය සඞ්ඝයා කඨිනත්ථාරකයාට අදම නො දී සෙට දේ නම්” කඨින චීවරය කාලවිපන්න වේ. කාලවිපන්න චීවරයෙන් කරන කඨිනත්ථාරය ද සිද්ධියට නො පැමිණේ.
“කරණවිපන්නං නාම තදහෙව ඡින්දිත්වා අකතං” යි අටුවාවෙහි දැක්වෙන පරිදි සඞ්ඝයා විසින් කඨිනත්ථාරකයාට වස්ත්‍රය දුන් ඒ දිනයෙහි ම පූර්වකරණය නො කොට පසු දිනක පූර්වකරණය සම්පූර්ණ කළ චීවරය කරණ විපන්න නම් වේ. එයින් කරන කඨිනත්ථායර ද සිද්ධියට නො පැමිණේ.
කඨිනය පිළිබඳව ඇත්තාවූ සියළුම නීති-රීති ඇත්තේ සාප්පුවල හෝ දායකයන් ළඟ හෝ තිබෙන වස්ත්‍රය හෝ සිවුරු පිළිබඳව නො ව, සඞ්ඝයා හට පුදන ලද වස්ත්‍ර හෝ සිවුරු පිළිබඳව ය. කඨිනය පිණිස දායකයකු විසින් නිකම්ම වස්ත්‍රයක් මිස, සිවුරක් නො පිදිය යුතුය කියා හෝ සිවුරක් දුන හොත් එය නො පිළිගත යුතුය, එයින් කඨිනය නො අතුළ යුතුය කියා හෝ විනය නීතියක් නැත. ඉදින් දායකයකු විසින් වැඩ නිම කළ සිවුරක් ම කඨිනය පිණිස පූජාකරන ලද්දේ නම්, එය පිළි-ගෙන සඞ්ඝයා විසින් කඨිනත්ථාරක භික්ෂුවට දිය යුතු ය.
කැපීම් මැසීම් ආදී පූර්වකරණය එහි කෙරී තිබෙන බැවින් කඨිනත්ථාරක භික්ෂුව විසින් ‘පූර්ව කරණය සම්පූර්ණ කරන්නට ය’ කියා, එහි පඬු සෝදා හැර නැවත එය කපා මසා පඬුපොවා ගැනීමට වුවමනාවක් නැත. ඒවා ඒ සිවුරෙහි කෙරී ඇති බැවින් නැවත නො කළාට කරණවිපත්තියක් නැත. එය කරණ සම්පත්තියෙන් යුක්ත ය. කපා, මසා පඬුපොවා ඇති සිවුරක්, කරණසම්පත්තිය ඇති කර ගැනීමට ය කියා විනාශ කරනවා නම් එය මහ විහිළුවකි. එබඳු නිශ්ඵල වැඩ කරන්නට, බුදුන් වහන්සේ නියම නො කරන සේක. එබැවින් කලින් දායකයකු විසින් කරන ලද චීවරයෙන් කඨිනය ඇතිරීමෙන්, කරණවිපන්න කඨිනයක් නො වන බවත්, අද ලැබුණු වස්ත්‍රයෙහි පූර්වකරණය පසු දිනක කිරීමෙන් ම චීවරය කරණවිපන්න වන බවත් තේරුම් ගත යුතු ය.