කලින් කළ සිවුරෙන් කඨිනය ඇතිරීම

star_outline

“න අඤ්ඤත්‍ර පඤ්චකෙන වා අතිරෙක පඤ්චකෙන වා තදහෙව සඤ්ඡින්නෙන සමණ්ඩලිකතෙන අත්‍ථතං හොති කඨිනං” යනු වදාළ බැවින් කඨින වස්ත්‍රය ලැබූ ඒ දිනයෙහි ම පස්කඩක් කොට හෝ පස්කඩකට වැඩි කඩ ගණනකට හෝ කපා, මහාමණ්ඩල අර්ධ මණ්ඩල දක්වා නො කළා වූ, කඩ නො කැපූ හෝ කඩ දෙක තුනකට කපා කළා වූ හෝ සිවුරකින් කඨිනය අතුළේ ද නො අතුළේ වේ.

බොහෝ දෙනා ‘කලින් කර තිබෙන සිවුරකින් කඨිනය ඇතිරීම වරදය’ යි ගන්නේ ඉහත කී පාඨය වරදවා තේරුම් ගැනීමෙනි. ඒ පාඨයෙන් දක්වන ප්‍රධාන කාරණය කඩ නො කැපූ හෝ පසකට අඩු කඩ ඇත්තා වූ හෝ චීවරය කඨිනාස්තරණයට නුසුදුසු බව ය. “තදහෙව” යන වචනය ඒ පාඨයට යොදා තිබෙන්නේ ඉහත දැක්වූ සන්නිධිය හා නිස්සග්ගිය සම්බන්ධයෙනි. කලින් කඨින වස්ත්‍රයෙහි කර තුබූ දෙයක් සම්බන්ධයෙන් සන්නිධියක් නො වේ. එය වන්නේ සඞ්ඝයා විසින් වස්ත්‍රය ලැබූ පසු එදින ම සියල්ල නිම කොට කඨිනය නො ඇතිරීමෙනි.

කඨින වස්ත්‍රය ලැබ එය සඞ්ඝයා විසින් සුදුසු භික්ෂුවකට දුන් පසු කළ යුතු සත්වැදෑරුම් පූර්වකෘත්‍යය කළ යුතු ය. කළ යුතු පූර්වකෘත්‍යයන් අතුරෙන් යම් යම් කෘත්‍යයක් ඒ වස්ත්‍රයෙහි කලින් කෙරී තිබේ නම්, ඒවා නැවත කරන්නට වුවමනාවක් නැත. පූර්වකෘත්‍යයන් කළ යුතු වන්නේ ඒවා කෙරී නැතහොත් ය. මසා පඬුපොවා ඇති වස්ත්‍රයක් ලද හොත් එහි පූර්වකෘත්‍ය වශයෙන් කරන්නට ඉතිරි වී ඇත්තේ කප්බින්දු තැබීම පමණෙකි. එය කොට, ඉටා එයින් කඨිනය අතුළ කල්හි කඨිනාස්තරණ සිද්ධිය වේ.

“එවඤ්ච පන භික්ඛවෙ පබ්බාජෙතබ්බො, උපසම්පාදෙතබ්බො, පඨමං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛූනං පාදෙ වන්දාපෙත්වා” යනාදීන් මහාවග්ගපාළියෙහි පැවිදි කරන සැටි වදාරා තිබේ. යම් කිසිවකු කලින් කෙස්-රැවුල් බා-ගෙන පැවිදි-වන්නට පැමිණියහොත් ඉහත කී දේශනය අකුරට ම පිළිපදින්නට, ඔහුගේ හිස නැවත කෙස් සිටවා කපන්නට හෝ කපා පැවිදි කර වීමට, නැවත කෙස්-රැවුල් වැඩෙන තුරු බලා සිටින්නට හෝ වුවමනා නැත. කෙස්-රැවුල් පහ කිරීම සිදුවී තිබෙන බැවින් සිවුරු හඳවා, ඔහු පැවිදි කළ යුතු ය.

එමෙන් පූර්වකෘත්‍යයන් සිදුවී තිබෙන කඨිනවස්ත්‍රයක් ලදහොත් එහි නැවත පූර්වකෘත්‍යයන් කරන්නට වුවමනා නැත. ඇත්තේ නො නිමි පූර්වකෘත්‍යයක් වේ නම්, එය කොට කඨිනය ඇතිරීමට ය. කලින් කෙස්-රැවුල් කපා ගෙන උන්නහුගේ පැවිද්ද සිදුවන්නාක් මෙන් කලින් පූර්වකෘත්‍යය නිම වී ඇති සිවුරෙන් කරන කඨිනාස්තරණය ද සිදු වේ. කලින් කර තිබීමෙන් එයට වන බාධාවක් නැත. එබැවින් විනය අටුවාවෙහි-

“එවං දින්නෙ පන කඨිනෙ සචෙ තං කඨින දුස්සං නිට්ඨිතපරිකම්මමෙව හොති. ඉච්චෙතං කුසලං ච නො වෙ නිට්ඨිතපරිකම්මං අහං ථෙරොති වා බහුස්සුතොති වා එකෙනා පි අකාතුං න ලභති. සබ්බෙහෙව සන්නිපතිත්වා ධොවනසිබ්බනරජනානි නිට්ඨාපෙතබ්බානි”

මෙසේ කඨිනය දුන් කල්හි ඉදින් ඒ කඨින වස්ත්‍රය වැඩ ඉවරවූවක් වේ නම් එසේ ම හොඳ ය. ඉදින් වැඩ ඉවර වූවක් නොවේ නම් ‘මම ස්ථවිර වෙමි ය, මම බහුශ්‍රැත වෙමිය’යි එක් භික්ෂුවක් විසිනුදු නො කරන්නට නො ලබයි. හැමදෙනා ම රැස්ව, සේදීම්-මැසීම්-පඬුපෙවීම් නිමකළ යුතුය’ යනු එහි තේරුම යි.

ත්‍රිපිටකධාරී ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ගේ පාළි මුත්තක විනය විනිච්ඡයෙහි ද ඒ පාඨය එසේ ම සඳහන් වේ. ඒ පාඨය විනයාලංකාර ටීකාවෙහි වර්ණනා කර ඇත්තේ මෙසේ ය:-

“සචෙ තං කඨිනදුස්සං නිට්ඨිතපරිකම්මමෙව හොතීති ඉමිනා කඨිනදුස්සං නාම න කෙවලං පකති සාටකමෙව: අථ ඛො පරිනිට්ඨිතසත්තවිධපුබ්බනිච්චං චීවරම්පි හොතීති දස්සෙති (තස්මා නිට්ඨිත චීවරම්පි හොතීති දස්සෙති.) තස්මා නිට්ඨිතචීවරස්මිං දින්නෙ සත්තවිධපුබ්බකිච්චකරණෙන අත්ථො නත්ථි. කෙවලං පච්චුද්ධරණාදීනි යෙව කාතබ්බානි. සචෙ පන කිඤ්චි අපරිනිට්ඨිතා හොති. අන්තමසො කප්ප බින්දුමත්තම්පි. තං නිට්ඨාපෙත්වා පච්චුද්ධරණාදීනි කාතබ්බානි.”

එහි තේරුම මෙසේ ය:- “සචෙ තං කඨිනදුස්සං නිට්ඨිත-පරිකම්මමේව හොති” යන මේ පාඨයෙන් කඨින වස්ත්‍රය නම්, හුදෙක් ‘ප්‍රකෘති වස්ත්‍රයක්ම නොවේ ය. නිමියාවූ සත් වැදෑරුම් පූර්වකෘත්‍යය ඇති චීවරයක් වේය’ යි දක්වයි. එ බැවින් වැඩ නිමවූ සිවුරක් (කඨිනය සඳහා දුන් කල්හි) සත් වැදෑරුම් පූර්වකෘත්‍යයෙන් වුවමනාවක් නැත. හුදෙක් පච්චුද්ධාරණාදිය පමණක් කළ යුතු ය. ඉදින් කිසි පූර්වකෘත්‍යයක් නිම කොට නැත්තේ නම්, යටත් පිරිසෙයින් කප්බින්දු තැබීම් මාත්‍රය පමණක්වත් ඉතිරිව ඇත්තේ නම්, එය නිමකොට පච්චුද්ධාරණය කළ යුතු ය.

දායකයා විසින් කලින් කපා, මසා, පඬුපොවා, දුන් සිවුරෙන් කඨිනය අතුළ යුතු බව වජිරබුද්ධි ටීකාවෙහි මෙසේ දැක් වේ.

පරිනිට්ඨිතපුබ්බකරණමෙව චෙ දායකො සඞ්ඝස්ස දෙති. සම්පටිච්ඡිත්වා කම්මවාචාය දාතබ්බං. තෙන ච තස්මිං යෙව සීමාමණ්ඩලෙ අධිට්ඨහිත්වා අත්ථරිත්වා සඞ්ඝො අනුමොදාපෙතබ්බො. කතපුබ්බකරණස්ස පුන කත්තබ්බාභාවතො.

ඉදින් දායකයා කරන ලද පූර්වකරණ ඇති වස්ත්‍රයක් ම සඞ්ඝයාට දේ නම්, සඞ්ඝයා විසින් පිළිගෙන කර්ම වාක්‍යයෙන් කඨිනත්ථාරකයාට දිය යුතු ය. කඨිනත්ථාරකයා විසින් (සීමා මණ්ඩලය වස් වැසූ සීමාවට ද අයත් නම්) ඒ සීමා මණ්ඩලයේදී ම ඉටා කඨිනය අතුරා සඞ්ඝයාට අනුමෝදන් කරවිය යුතු ය. එසේ කළ යුත්තේ කරන ලද පූර්වකෘත්‍යය ඇති වස්ත්‍රයෙහි නැවත කළ යුත්තක් නැති නිසා ය, යනු එහි තේරුම ය.

තවද “තදහෙව සඤ්ඡින්නෙනාති සඞ්ඝෙන කඨිනත්ථාරකස්ස කම්මවාචං වත්වා දින්නෙනෙව තදහෙව සඤ්ඡින්නෙන සමණ්ඩලීකතෙන භවිතබ්බං -පෙ- න දායකෙන දීයමානං” යි වජිරබුද්ධි ටීකාවෙහි ම මහාවග්ග පාළියෙහි එන “තදහෙව සඤ්ඡින්නෙන සමණ්ඩලීකතෙන” යනාදි පාඨය සඞ්ඝයා විසින් කඨිනත්ථාරකයාට කර්මවාක්‍යය කියා දුන් කඨින වස්ත්‍රය පිළිබඳ වූවක් මිස, දායකයා අතේ තිබෙන වස්ත්‍රය පිළිබඳ වූවක් නො වන බව දක්වා තිබේ. දායකයා කොතෙක් කල් තබාගෙන මැසීම් ආදිය කළත් එය දායකයාගේ සන්නිධියක් මිස, භික්ෂු සඞ්ඝයාගේ සන්නිධියක් නොවන බැවින් කලින් මසා තිබූ සිවුර, කඨිනය ඇතිරීමට නො ගත යුත්තක් නො වේ. කඨිනය ගැන “මාතිකට්ඨ කථාවෙහි” දැක්වෙන්නේ මෙසේ ය:-

සචෙ පුරිමවස්සං වුත්ථානං ගහට්ඨපබ්බජිතෙසු යො කොචි ධම්මෙන සමෙන චීවරං දෙති, ඉමිනා කඨිනං අත්ථරථාති, තං ඛන්ධකෙ වුත්තාය ඤත්තිදුතියකම්මවාචාය කඨිනත්ථාරාරහස්ස භික්ඛුනො දාතබ්බං. තෙන තදහෙව පඤ්ච වා අතිරෙකානි වා ඛණ්ඩානි ඡින්දිත්වා සඞ්ඝාටි වා උත්තරාසඞ්ගො වා අන්තරවාසකො වා කාතබ්බො. සෙසභික්ඛූහි තස්ස සහායෙහි භවිතබ්බං. සචෙ කතචීවරමෙව උප්පජ්ජති සුන්දරමෙව. අච්ඡින්නා සිබ්බිතං පන න වට්ටති.

එහි තේරුම මෙසේ ය:- ඉදින් පෙරවස් වැස නිමකළ භික්ෂූන්ට ගිහිපැවිද්දන් අතුරෙන් යම්කිසිවෙක් ‘මෙයින් කඨිනය අතුරත්වා’යි දැහැමින් සෙමින් සිවුරක් දේද, එය ඛන්ධකයෙහි කියන ලද ඤත්තිදුතියකම්මවාචාවෙන් කඨිනාස්තරණයට සුදුසු භික්ෂුවකට දිය යුතු ය. ඒ භික්ෂුව විසින් එදින ම පසක් වූ හෝ අධික වූ හෝ කඩ කපා සඞ්ඝාටියක් හෝ උත්තරාසඞ්ගයක් හෝ අන්තර වාසයක් හෝ කළ යුතු ය. සෙසු භික්ෂූන් විසින් ඒ භික්ෂුවට සහාය විය යුතු ය. ඉදින් කළ සිවුරක් ම උපන්නේ නම් යහපත් ම ය. කඩ නො කැපූ නො මැසූ සිවුර වනාහි නො වටනේ ය.

මෙසේ අටුවා-ටීකා වල නොයෙක් තැන්වල දායකයන් විසින් කලින් කපා, මසා, පඬුපොවා, පුදන ලද චීවරය ද කඨිනයට සුදුසු බව දක්වා තිබෙන්නේ “න අඤ්ඤත්‍ර පඤ්චකෙන වා අතිරෙක පඤ්චකෙන වා තදහෙව සඤ්ඡින්නෙන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං” යන බුද්ධවචනය තේරුම් ගන්නට නුපුළුවන් වීමෙන් හෝ වරදවා තේරුම් ගැනීමෙන් හෝ නොව, එහි අර්ථය බුදුන් වහන්සේගේ අදහසේ හැටියට හරියට ම තේරුම් ගැනීමෙනි.

මේ අටුවාටීකාවන් ලියා තිබෙන්නේ ද මෙකල මෙන් භික්ෂූන් විනයට එතරම් ගෞරවයක් නො දක්වන, විනය පොත-පත භාවිත නො කරන කාලයකදී නොව, ඉතා ආදරයෙන්-ගෞරවයෙන් විනය සිකපද අකුරට ම පිළිපදින, විනය උගෙනීම-උගැන්වීම ආදරයෙන් කරන භික්ෂූන් විස කාලයේදී ය. ඒ කාලයේ දී ද කඨිනාස්තරණය සඳහා නිකම්ම වස්ත්‍රය පමණක් නොව, දායකයන් විසින් කලින් වැඩ නිම කොට පිදූ චීවරයන් ද ගත් බවට කිසිදු සැකයක් නැත. එබැවින් කලින් කරන ලද සිවුරුවලින් කඨිනය ඇතිරීම අද ඊයේ පටන් ගත් අලුත් දෙයක් නො වන බව ද දත යුතු ය.

“කඨිනය සඳහා කලින් මැසූ සිවුරු ගතයුතු බවක් බුද්ධදේශනාවේ නැත. එය අටුවා මතයකැ”යි ඇතැම් කෙනෙක් කියති. විනය පිළිබඳව අටුවා මතය ය - බුද්ධමතය ය කියා දෙකක් නැත්තේ ය. විනය අඩු-වැඩි කිරීමේ හෝ වෙනස් කිරීමේ බලයක් අටුවාචාරීන් වහන්සේලාට නැත. උන් වහන්සේලා බුද්ධ-මතයට විරුද්ධ දෙයක් නො පවසන්නාහ. අටුවාවෙන් කරන්නේ ඒ ඒ කරුණු පිළිබඳ ව බුද්ධ-මතය පැහැදිලි කිරීමය. එබැවින් කඨිනය පිණිස කලින් මැසූ සිවුර ගැනීමය, වස්ත්‍ර ගැනීමය යන දෙක ම බුද්ධමතය ම බව දත යුතු ය.