කඨින විපත්ති

කඨිනය අතුළේ වී නමුත් කඨිනාස්තරණ විනය කර්මය සිද්ධියට නො පැමිණීමේ කරුණු සූවිස්සක් මහා වග්ගපාළියෙහි වදාරා තිබේ. ඒ සූවිස්ස සංග්‍රහ කොට ගත හොත් කරුණු කීපයෙකි.

අධිෂ්ඨානයට යෝග්‍ය සිවුරක් වන පරිදි සිවුර පිළිබඳව කළයුතු දෑ සම්පූර්ණ නො කළ සිවුරකින් කඨිනය අතුළේ ද එය සිද්ධියට නො පැමිණේ. මහා වග්ගයෙහි දේශිත සූවිසි විපත්තීන්ගෙන් බොහෝ ගණනක් කියන ලද කරුණෙහි සඞ්ග්‍රහ වේ.

“න නිමිත්ත කතෙන අත්ථතං හොති කඨිනං. න පරිකථා කතෙන අත්ථතං හොති කඨිනං” (මහා වග්ගපාළි) මේ වස්ත්‍රය හොඳය, මෙය කඨින චීවරයකට සුදුසුය යනාදීන් නිමිති ඇති කිරීමෙන් ලබාගත් වස්ත්‍රයෙන් කඨිනය අතුළේ ද සිද්ධියට නො පැමිණේ. “කඨින දීම හොඳ පින්කමෙකි, වෙන අවුරුදුවල නම්, මේ කාලයේ කඨින දෙනවාය, මේ අවුරුද්දේ ඒ ගැන සූදානමක් නො පෙනේය” යනාදීන් වටින් පිටින් කථා කොට උපදවා ගත් වස්ත්‍රයෙන් කඨිනය අතුළේ ද සිද්ධියට නො පැමිණේ. මේ කරුණු දෙක විශේෂයෙන් භික්ෂූන් විසින් මතක තබා ගත යුතු කඨින විපත්ති දෙකකි.

මෙය විස්තර කරන විනය අටුවාවෙහි “කඨිනං නාම අති උක්කට්ඨං වට්ටති. මාතරංපි විඤ්ඤාපෙතුං න වට්ටති. ආකාසතො ඔතිණ්ණ සදිසමෙව වට්ටති” යි කියා තිබේ. එහි තේරුම ‘කඨින ඉතා උත්කෘෂ්ඨ වූයේ ම වටනේ ය, මවටවත් කියා ලබා ගන්නට නො වටනේය, භික්ෂුවක ගේ කිසිම නිමිත්ත කරණයක් හෝ පරිකථාවක් හෝ ඉල්ලීමක් හෝ නැතිව, අහසින් වැටුනාක් මෙන් ලද වස්ත්‍රයක් ම කඨිනය පිණිස වටනේය’ යනු යි.

මෙහි අහසින් වැටීමේ උපමාව දක්වා තිබෙන්නේ ඉහත දැක්වූ ඉල්ලීම්, නිමිති පහළ කිරීම, වටින් පිටින් කථා කිරීම්වලින් තොරව, දායකයකුගේ කැමැත්තෙන් ම පුදන ලද්දක් විය යුතු බව දැක්වීම පිණිස ය.

ඇතැම්හු “ආකාසතො ඔතිණ්ණ සදිසමෙව වට්ටති” යන අටුවා පාඨය වරදවා තේරුම් ගෙන කඨිනය කලින් භික්ෂූන්ට දැනුම් දීමක් නො කොට හදිසියෙන් දිය යුත්තකැ යි කියති. කඨිනයක් දෙන බව කලින් භික්ෂූන්ට දැන්වීමෙන් වන කඨින විපත්තියක් නැත. කඨිනය දීම සම්බන්ධයෙන් නො දන්නා දෙයක් භික්ෂූන්ගෙන් අසා ගැනීමෙන් හෝ එසේ අසන කෙනකුට ඒ කාරණය කියා දීමෙන් හෝ වන කඨින විපත්තියක් ද නැත. කඨිනයක් දෙනු කැමැති දායකයාගේ ඉල්ලීම පරිදි භික්ෂුවක් විසින් ඒ කටයුත්තට වුවමනා පමණ භික්ෂූන් වහන්සේලා පමුණුවා දීමෙන් වන කඨින විපත්තියක් ද නැත.

“න කුක්කුකතෙන අත්‍ථතං හොති කඨිනං” යනු වදාළ බැවින් තාවකාලික වශයෙන් දෙන වස්ත්‍රයකින් කඨිනය අතුළේ ද සිද්ධියට නො පැමිණේ.

“න සන්නිධිකතෙන අත්‍ථතං හොති කඨිනං” යි වදාළ බැවින් සන්නිධි කළ චීවරයෙන් අතුළේ ද කඨිනාස්තරණය සිදු නො වේ. ‘කරණසන්නිධිය, නිචයසන්නිධිය’ යි සන්නිධිය දෙ-වැදෑරුම් වේ. සඞ්ඝයා විසින් භික්ෂුවකට කඨින වස්ත්‍රය දුන් පසු, එදිනම සිවුරක් නො කොට, එය තබා ගෙන සිට, පසුදිනකදී සිවුරක් කිරීම ‘කරණසන්නිධි’ නමි. එබඳු සිවුරකින් කඨිනය අතුළේ ද කඨිනාස්තරණ විනය කර්මය සිද්ධ නො වේ. කඨිනය පිණිස ලද වස්ත්‍රය එදින ම යම්කිසි භික්ෂුවකට නොදී පසු දිනක දීම ‘නිචයසන්නිධි’ නමි. එබඳු සිවුරකින් කඨිනය අතුළේ ද සිද්ධියට නො පැමිණේ.

“න නිස්සග්ගියෙන අත්‍ථතං හොති කඨිනං” යි වදාළ බැවින් සිවුර කර ගෙන යන කල්හි නිමවන්නට කලින් අරුණ නැගීම වූ සිවුරෙන් කඨිනය අතුළේ ද නො අතුළේ වේ.

“න අඤ්ඤත්‍රසඞ්ඝාටියා අත්‍ථතං හොති කඨිනං” යනාදිය වදාළ බැවින් සඞ්ඝාටිය - උත්තරාසඞ්ගය - අන්තර වාසකය යන මේ තුන හැර අනිකකින් කඨිනය අතුළේ ද නො අතුළේ වේ.