කඨින චීවරයක් පුදන කල්හි දායකයෝ ඒවා පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් චීවරාදි බොහෝ වස්තූන් පුදති. ඒවා ‘කඨිනානිසංස පරික්ඛාර’ නමි. ඒවා ගැන පිළිපැදිය යුතු අන්දම විනය අටුවාවෙහි දැක්වෙන්නේ මෙසේ ය.
එවං අත්ථතෙ පන කඨිනෙ, සචෙ කඨින චීවරෙන සද්ධිං ආහතං ආනිසංසං දායකා ‘යෙන අම්හාකං කඨිනං ගහිතං තස්සෙව දෙමා’ති දෙන්ති, භික්ඛුසඞ්ඝො අනිස්සරො. අථ අවිචාරෙත්‍වාව දත්‍වා ගච්ඡන්ති, භික්ඛුසඞ්ඝො ඉස්සරො. තස්මා සචෙ කඨිනත්ථාරකස්ස සෙසචීවරානි’පි දුබ්බලානි හොන්ති. සඞ්ඝෙන අපලොකෙත්වා තෙසම්’පි අත්ථාය වත්ථානි දාතබ්බානි, කම්මවාචා පන එකාව වට්ටති. අවසෙසෙ කඨිනානිසංසෙ බලවවත්ථානි වස්සාවාසිකඨිතිකාය දාතබ්බානි. ඨිතිකාය අභාවෙ ථෙරාසනතො පට්ඨාය දාතබ්බානි. ගරුභාණ්ඩං න භාජෙතබ්බං.
එහි තේරුම මෙසේ ය.:-
‘මෙසේ කඨිනය අතුළ කල්හි ඒ කඨින චීවරය සමඟ ගෙන ආ ආනිසංස පරිෂ්කාරයන් දායකයෝ “අපගේ කඨිනය ගන්නා තෙරුන් වහන්සේට ම දෙමුය” කියා දෙත් නම්, ඒවා භික්ෂු සඞ්ඝයාට අයිති නැත. දායකයෝ ඒවා ගැන කිසිවක් නො කියා ගියාහු නම්, ඒ පිරිකර සඞ්ඝයාට අයිතිය. එබැවින් කඨිනය ලැබූ භික්ෂුවගේ අන් සිවුරුත් දුබලවී ඇත් නම්, සංඝයාට දන්වා ඒ සිවුරු පිණිස ද කඨිනත්ථාරකයාට වස්ත්‍ර දිය යුතු ය. කර්මවාක්‍යය කියයුත්තේ කඨින චීවරය සඳහා පමණෙකි. ඉතිරි කඨිනානිසංසයන්ගෙන් බලවත් වස්ත්‍ර (ශක්තිමත් හොඳ වස්ත්‍ර) වස්සාවාසිකඨිතිකාවෙන් දිය යුතු ය. ඨිතිකාවක් නැතහොත්, මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් දිය යුතු ය. ගරුභාණ්ඩ නො බෙදිය යුතුය.
බොහෝ භික්ෂූන් වහන්සේලා වාසය කරන තැන්වලට සාඞ්ඝික වශයෙන් ලැබෙන සිවුරු වැඩිමහලු පිළිවෙලින් ලැබෙන ලැබෙන සැටියට බෙදා දෙනු ලැබේ. එය කරන්නේ මෙසේය:- අද සිවුරු පසක් ලද හොත් මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් පස් නමකට ඒ සිවුරු දෙති. ඊට පස් ලැබෙන සිවුරු සවෙනි තෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් දෙනු ලැබේ. “ඨිතිකාවය” යි කියනුයේ සිවුරු දීම නැවතුණු තැන ය. පිළිවෙලින් සිවුරු දීගන අවුත් නැවතුණු තැනක් ඇති නම්, කඨිනානිසංස වස්ත්‍ර ඒ ඨිතිකාවේ පටන් බෙදනු ලැබේ.