කර්මවාක්‍යය මෙසේ ය:-
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. ඉදං සඞ්ඝස්ස කඨිනදුස්සං උප්පන්නං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො ඉමං කඨිනදුස්සං (තිස්සස්ස) භික්ඛුනො දදෙය්‍ය කඨිනං අත්‍ථරිතුං. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. ඉදං සඞ්ඝස්ස කඨිනදුස්සං උප්පන්නං. සඞ්ඝො ඉමං කඨිනදුස්සං (තිස්සස්ස) භික්ඛුනො දෙති කඨිනං අත්‍ථරිතුං. යස්සායස්මතො ඛමති ඉමස්ස කඨිනදුස්සස්ස (තිස්සස්ස) භික්ඛුනො දානං කඨිනං අත්‍ථරිතුං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.
දින්නං ඉදං සඞ්ඝෙන කඨිනදුස්සං (තිස්සස්ස) භික්ඛුනො කඨිනං අත්‍ථරිතුං ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.
මෙසේ සඞ්ඝයා විසින් එක් භික්ෂුවකට දෙන ලද ඒ කඨින වස්ත්‍රය, පූජාකළ පින්වතුන් විසින් ම කපා මසා-පඬුපොවා, අධිෂ්ඨානයට යෝග්‍ය වන පරිදි පිළියෙල කර තිබෙන වස්ත්‍රයක් හෙවත් සිවුරක් වේ නම්, වස් වැසූ සීමාව තුළ හිඳ, එහි කප් බින්දු තබා, එය දෙපොට සිවුරක් නම්, තමාගේ පරණ සඞ්ඝාටිය පච්චුද්ධරණය කොට “ඉමං සඞ්ඝාටිං අධිට්ඨාමි” යි තුන් වරක් කියා, එය ඉටා ගත යුතු ය. තනි පොට සිවුරක් වී නම්, පරණ උත්තරාසඞ්ගය පච්චුද්ධරණය කොට “ඉමං උත්තරාසඞ්ගං අධිට්ඨාමි” යි තුන්වරක් කියා එය ඉටා ගත යුතු ය. අඳනයක් නම්, පරණ අන්තරවාසකය පච්චුද්ධරණය කොට, “ඉමං අන්තරවාසකං අධිට්ඨාමි” යි තුන්වරක් කියා එය ඉටා ගත යුතු ය.
ඉක්බිති ඒ චීවරය අතට ගෙන එය සඞ්ඝාටිය නම්, “ඉමාය සඞ්ඝාටියා කඨිනං අත්ථරාමි” යි තුන් වරක් කිය යුතු ය. උත්තරාසඞ්ගය නම්, “ඉමිනා උත්තරාසඞ්ඝෙන කඨිනං අත්ථරාමි” යි ද, අන්තරවාසකය නම් “ඉමිනා අන්තරවාසකෙන කඨිනං අත්ථරාමි” යි ද කිය යුතු ය. එසේ කීම කඨිනාස්තරණ විනය කර්මය ය. එය කළ කල්හි ඒ භික්ෂූන් වහන්සේට බුද්ධාඥාව වූ පරිදි අනාමන්තචාරාදි පඤ්චානිසංසය ලැබෙන්නේ ය. ඉක්බිති ඒ භික්ෂුව විසින් කඨිනාස්තරණ කර්මය අනුමෝදන් කරවිය යුතු ය.
එය කරන්නේ මෙසේ ය:-
ඒ භික්ෂුව විසින් සිවුර ඒකාංස කොට පොරවා ඇඳිලි බැඳ, සඞ්ඝයාහට තමා සඞ්ඝස්ථවිර නම් “අත්ථතං ආවුසො සඞ්ඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො අනුමොදථ” යි තුන් වරක් කිය යුතු ය. තමාට වැඩිමහල්ලෝ එහි වෙත් නම් “අත්ථතං භන්තෙ සඞ්ඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො අනුමොදථ” යි කිය යුතු ය. අනුමෝදන් වන භික්ෂූන් විසින් “අත්ථතං භන්තෙ සඞ්ඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො අනුමෝදාමි” යන වැකිය, ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳගෙන කියා, කඨිනත්ථාරය අනුමෝදන් විය යුතු ය. ඉන්පසු අනුමෝදන් වූ භික්ෂූන්ට ද පඤ්චානිසංසය හිමි වේ. කඨින වස්ත්‍රය වැඩ නො නිම වූ වස්ත්‍රයක් වේ නම්-
“පුබ්බකරණං සත්තහි ධම්මෙහි සඞ්ගහිතං, ධොවනෙන විචාරණෙන ඡෙදනෙන බන්ධනෙන සිබ්බනෙන රජනෙන කප්පකරණෙන”
යනුවෙන් දැක්වෙන සේදීමය, නූල්ගසා කඩ වෙන් කිරීමය, කැපීමය, බොරුනූල් දැමීම ආදියෙන් කඩ එකතු කිරීමය, මැසීමය, පඬුපෙවීමය, කප් බින්දු තැබීමය යන පූර්වකෘත්‍ය සත එදින ම කොට නිමවා, එදින ම කඨිනත්ථාරය කළ යුතු ය.
“කඨිනං කෙන දින්නං වට්ටති? යෙන කෙනචි දෙවෙන වා මනුස්සෙන වා පඤ්චන්නං වා සහධම්මිකානං අඤ්ඤතරෙන දින්නං වට්ටති” යනු අටුවා හෙයින් යම් කිසි මනුෂ්‍යයකු විසින් හෝ දෙවියකු විසින් හෝ භික්ෂුවක විසින් හෝ භික්ෂුණියක විසින් හෝ සාමණේරයකු විසින් හෝ සාමණේරියක විසින් හෝ ශික්ෂමානාවක විසින් හෝ දෙන ලද වස්ත්‍රය කඨිනයට සුදුසු වන්නේ ය.
කඨිනය දිය යුතු සැටි නො දන්නා පින්වතකු විසින් එය කෙසේ දිය යුතුදැයි භික්ෂූන්ගෙන් විචාළ හොත්, තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරකට පොහෝනා වස්ත්‍රයක් ඉර උදාවන වේලෙහි “කඨින දුස්සං දෙම” කියා දිය යුතු බවත්, එය කිරීමට ඉදිකටු-නූල් හා පඬුත්, එයට සහභාගී වන භික්ෂූන්ට දානයත් දිය යුතු බව, ඒ පින්වතාට කිය යුතු ය. ඒ බව විනය අටුවාවෙහි දක්වා තිබේ. කඨිනය සඳහා වස්ත්‍රයක්ම දිය යුතුය කියා හෝ කොට නිමවූ සිවුරක් දිය යුතුය කියා හෝ විනය පාළියෙහි කඨිනය දීම පිළිබඳ වචන මාත්‍රයකුදු සඳහන් කොට නැත. අටුවාවෙහි ‘තුන් සිවුරෙන් එකකට පොහෝනා වස්ත්‍රයක් දිය යුතුය’ යි දක්වා තිබෙන්නේ වැඩ නිම කළ සිවුරක් නො දිය යුතු නිසා නොව ඒ කාලයේ පැවති සිරිත අනුව ය. අතීත කාලයේ සිවුරු මසා ගැනීම කරන ලද්දේ භික්ෂූන් විසිනි. දායකයෝ සිවුරු පිණිස වස්ත්‍ර ම පිදූහ.
“සඞ්ඝෙන පන කස්ස දාතබ්බං? යො ජිණ්ණ චීවරො හොති. සචෙ බහු ඡින්නචීවරා. බුඩ්ඪස්ස දාතබ්බං. බුඩ්ඪෙසුපි යො මහාපරිසො තදහෙව චීවරං කත්වා අත්ථරිතුං සක්කොති. තස්ස දාතබ්බං. සචෙ බුඩ්ඪො න සක්කොති නවකතරො සක්කොති. තස්ස දාතබ්බං. ‘අපි ච සඞ්ඝෙන මහාථෙරස්ස සඞ්ගහං කාතුං වට්ටති. තස්මා තුම්හෙ භන්තෙ ගණ්හථ. මයං කත්වා දස්සාමි’ති වත්තබ්බං”
යනුවෙන් අටුවාවෙහි දැක්වෙන පරිදි, යම්කිසි දායකයකු විසින් කඨිනය පිණිස පුදන ලද වස්ත්‍රය සඞ්ඝයා විසින්, ඒ පිරිසෙහි ඒ භික්ෂූන් අතුරෙන් දිරාගිය සිවුරු ඇති භික්ෂුවට දිය යුතු ය. දිරාගිය සිවුරු ඇත්තෝ නැත්තාහු හෝ බොහෝ දෙනෙක් ඇත්තාහු හෝ වෙත් නම්, ඒ වස්ත්‍රය වෘද්ධයාට දිය යුතු ය. වෘද්ධයන් අතුරෙනුදු එදින ම කපා-මසා-පඬුපොවා සිවුර කොට නිමවා, කඨිනය ඇතිරීමට සමත් මහපිරිස් ඇති තැනැත්තකුට දිය යුතු ය. ඉදින් වෘද්ධයා එසේ කිරීමට සමත් නො වී නවකයෙක් සමත් වේ නම් නවකයාට කඨින වස්ත්‍රය දිය යුතු ය. සඞ්ඝයා විසින් මහ තෙරුන් වහන්සේට සඞ්ග්‍රහ කිරීම වටනේ ය. එබැවින් “නුඹ වහන්සේ පිළිගනු මැනව, අපි එය නුඹ වහන්සේට කර දෙන්නෙමුය” යි සඞ්ඝයා විසින් මහා ස්ථවිරයන් වහන්සේට කිය යුතු ය.