පෙර වස් විසීමය, පසු වස් විසීමය යි වස් විසීම් දෙකකි. ගිම්හාන සෘතුවේ අටවන පෝය වූ ඇසළ මස පුර පසළොස්වක දිනයේ පෝය කොට, අව පෑළවිය දිනයේ පෙරවස් එළඹිය යුතු ය. වස්සාන සෘතුවේ දෙවන පෝයවූ නිකිණි මස පුරපසළොස්වක් දිනයෙහි පෝය කොට, අව-පෑළවිය දිනයේදී පසු වස් එළඹිය යුතු ය. ඒ දෙදිනෙන් එක් දිනක වස් විසීම නො කළ භික්ෂුවට “න භික්ඛවෙ! වස්සං න උපගන්තබ්බං, යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යන බුද්ධ ප්‍රඥප්තියේ සැටියට දුකුළා ඇවැත් වේ.
වස් එළඹෙන දිනයෙහි තමා වස් වසන විහාරය පිළිදැගුම් කර-ගෙන සවස් කාලයේදී මල්-පහන් පුදා රත්නත්‍රය වැඳ, පිරිත් කියා දෙවියන්ට පින් දී, “ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි” යි එක් වරක් හෝ දෙවරක් හෝ තුන් වරක් හෝ කියා වස් එළඹිය යුතු ය.
“මෙහි වස් වසමි ය” යන අදහසින් යම්කිසි විහාරයක වෙසෙන භික්ෂුවකට දහම් දෙසීම් ආදි කටයුතුවල යෙදීම නිසා “ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි” යන වාක්‍යය කියා වස් ඉටා ගැනීමට අමතක වූයේ ද, වස් විසීමේ බලාපොරොත්තුව ඇති බැවින් වස් විසීම සිදු වේ. වස කඩා නොගෙන විසුව හොත් ඒ භික්ෂුවට පවාරණය කිරීමට බාධාවක් නැත්තේ ය.
“න භික්ඛවෙ! අසෙනාසනිකෙන වස්සං උප ගන්තබ්බං. යො උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි වදාරන ලද බැවින් වහලක් ඇති, දොරක් ඇති, සෙනසුනක් සොයා ගෙන ම වස් එළඹිය යුතු ය. ඉදින් වස් විසීමට සෙනසුනක් නැති නම්, කරවා දෙන දායකයකු ද නැති නම්, උපකාරකයන් සොයා ගෙන හෝ සෙනසුනක් කරවා ගත යුතු ය. උපකාරකයන් ද සොයා-ගත නො හැකි වේ නම්, තමා විසින් ම හෝ කර ගත යුතු ය. සෙනසුනක් නැතය කියා වස් නො වැස, ඇවතින් නො මිදිය හැකි ය.