සත්තාහකරණියයෙන් යාම.

සත්තාහකරණීයයෙන් වස්වසන තැනින් බැහැර යන කල්හි, වස් විසූ සීමාව තුළදීම “සත්තාහකරණීයයෙන් යා යුතු කාරණය සිතා, මේ කාරණයට මම බැහැර ගොස් සත්දින ඇතුළත ආපසු එමි”යි සිතා ගෙන යා යුතු ය. යාමට පළමු එසේ සිතා-ගෙන විසූ භික්ෂුවට යන කල්හි අමතක වී ගියේ ද වරදක් නැත. සර්වාකාරයෙන් එය නො සිතා යන්නහුට වස්සච්ඡේදය වේය යි ආචාර්යයෝ කියති. පිටත යාමට ආරාධනාදි කරුණක් නැතිව, “සතිය තුළ ආපසු එමි”යි සිතා, බැහැර යන්නහුට ‘ඇවැතක් වේය, වස්සච්ඡේදය නොවේ ය’ යි ද ආචාර්යවරයෝ පවසති.

“අන්තො උපචාර සීමායං ඨිතෙනෙව සත්තාහ කරණීය නිමිත්තං සල්ලක්ඛෙත්වා. ඉමිනා නිමිත්තෙන ගන්ත්වා අන්තො සත්තාහෙ ආගමිස්සාමීති ආභොගං කත්වා ගන්තුං වට්ටති. පුරිමක්ඛණෙ ආභොගං කත්වා ගමනක්ඛණෙ විස්සරිත්වා ගතෙපි දෙසො නත්ථි. සකරණීයො පක්කමතීති වුත්තත්තා සබ්බථා පන ආභොගං අකත්වා ගතස්ස වස්සච්ඡෙදොති වදන්ති. යො පන සත්තාහකරණීය නිමිත්තාභාවෙපි සත්තාහබ්භන්තරෙ ආගමිස්සාමීති ආභොගං කත්වා ගන්ත්වා, සත්තාහබ්භන්තරෙ ආගච්ඡති තස්ස ආපත්තියෙව වස්සච්ඡෙදො නත්ථි. සත්තාහස්ස සන්නිවත්තත්තාති වදන්ති. වීමංසිත්වා ගහෙතබ්බං” යනු විමති විනෝදනී ටීකා පාඨයෙකි.

සත්තාහකරණීයයෙන් බැහැර ගිය භික්ෂුව සත්දින නො ඉක්මවා සත්වන දින අරුණට පළමුව, වස් වැසූ තැනට පැමිණිය යුතුය. ඉදින් ඉරිදා වස් විසූ සීමාවෙන් පිට වී නම්, ඊට පසු ඉරිදාට එළිවන්නට පළමු සෙනසුරාදා ආපසු පැමිණිය යුතු ය. ඉරිදා වන තෙක් පිටත විසුවහොත් වස්සච්ඡේදය වේ. සත්තාහකරණීයයෙන් පිටත ගිය භික්ෂුවට අවසර ඇත්තේ පිටත සත්දින ඉක්මවීමට නො ව, සත් දින ඇතුළත ආපසු පැමිණීමට ය. පවාරණ දිනය සත්වන දිනය වී තිබියදී, සත්තාහ කරණීයයෙන් බැහැර ගිය භික්ෂුව යම්කිසි තැනකදී පවාරණය කොට, වස් විසූ තැනට ආපසු නායේ ද වස්සච්ඡේදය නො වේ. එසේ ගිය භික්ෂුවට සත්වන දිනයෙන් ඔබ වස් කාලය නැති බැවිනි.

විශේෂ කරුණක්

පවාරණය ඒ දිනයෙහි කිරීමට නියමිත විනය කර්මයක් මිස, වස් අවසන් කිරීමක් නො වේ. පවාරණය කරන පොහෝ දිනය ද වස් කාලයට ම අයත් බැවින් ‘පවාරණයෙන් වස ඉවරවීය’ යි සිතා එදින වස් විසූ තැනින් නොයා යුතු ය. එදිනත් එහි ම විසිය යුතු ය. එදින වුව ද වස් විසූ තැන ගැන අපේක්ෂාව හැර ගියහොත් වස්සච්ඡේදය විය හැකි ය.