ඇවැත් දෙසීම

‘ඇවැත් දෙසීමය” යනු ඇවැත්වලින් පිරිසිදු වනු පිණිස ආරෝචනය කිරීම ය. භික්ෂුවක් සැටියට පෙනී නො සිටීම, භික්ෂුභාවය අත හැර සාමණේර බවට හෝ ගිහිබවට පැමිණිම පාරාජිකාපත්ති දේසනාව ය. වත් මානත් පුරා අබ්භාන කර්මය කර ගැනීම සඞ්ඝාදිසේසාපත්ති දේසනාව ය. එක් භික්ෂුවක් වෙත දෙසීමෙන් ථුල්ලච්චය පාචිත්ති ආදි ඇවැත්වලින් පිරිසිදු විය හැකි ය. මෙහි ඇවැත් දෙසීම යනුවෙන් අදහස් කරන්නේ ථුල්ලච්චයාදි ඇවැත් දෙසීම ය. භික්ෂූන්ට සිකපද ඉතා බොහෝ බැවින් ද, අචිත්තක සිකපදත් ඇති බැවින් ද, භික්ෂූහු නොයෙක් විට ඇවැත්වලට පැමිණෙති. සමහර විට තමන් දන්නේ ම නැතිව ද ඇවැත්වලට පැමිණෙති.

සුක්කවිස්සට්ඨි-කායසංසග්ග යන ගරුකාපත්ති දෙකට ද පහසුවෙන් පැමිණිය හැකි ය. ගරුකාපත්තියෙන් පිරිසිදු වීමට විනය කර්ම කිරීමේදී, පැමිණි ඇවත භික්ෂුවකට ආරෝවනය නො කර, ගත කළ දිනගණනට පිරිවෙස් පිරිය යුතු වේ. ඇවතට පැමිණි දිනයේ ම එය අන් භික්ෂුවකට ආරෝචනය කළ භික්ෂුවට, සදිනක් මානත පුරා අබ්භාන කර්මය කර ගැනීමෙන් පිරිසිදු විය හැකි ය. ගරුකාපත්ති සඳහා වත් පුරන්නට නො වීමටත් වත් පිරීමේ දින ගණන අඩුකර ගත හැකි වීමටත් ඇවැත් දෙසන සියලු ම අවස්ථාවලදී ගරුකාපත්ති ආරෝචනය කිරීම හොඳ ය. එසේ කිරීමේදී තමා පැමිණි ගරුකාපත්තිය නිශ්චය වශයෙන් ම දන්නේ නම්, ඒ ඇවතේ නම ම ගෙන ආරෝචනය කිරීම හොඳ ය. තමා කොතෙක් ගරුකාපත්තීන්ට පැමිණුනේ ද යන බව නිශ්චය වශයෙන් නො දන්නා තැනැත්තා විසින්, ‘තමා පැමිණි සියලුම ඇවැත් ආරෝචනය කරමි’ යි යන අදහසින්-

“සබ්බාපත්තියො ආචිකරොමි” කියා හෝ “සබ්බාපත්තියො ආරොචයාමි” කියා හෝ පළමුවෙන් ආපත්ති ආරෝචනය කොට, පසුව අනික් ඇවැත් දෙසීම කළ යුතු ය.

අනු මාතෘකා