චීවර විකප්පනය

විකප්පනය කරන සිවුර ගෙන භික්ෂුවක් සමීපයේ උක්කුටිකව හිඳ, “ඉමං චීවරං තුය්හං විකප්පෙමි” යි තුන්වරක් කියා අනික් භික්ෂුවට සිවුර දිය යුතු ය. එසේ කිරීම විකප්පනය ය. පිළිගත් භික්ෂුව විසින් “මය්හං සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං කරොහි” යි තුන් වරක් කියා එය ආපසු දිය යුතු ය. එය පච්චුද්ධාරය යි. සිවුරු එකකට වැඩි කල්හි “ඉමානි චීවරානි තුය්හං විකප්පෙමි” යි කිය යුතු ය. පච්චුද්ධාරයේ දී “මය්හං සන්තකානි පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං කරොහි” යි කිය යුතු ය. අත්පසින් බැහැර ඇති සිවුරු විකප්පනය කිරීමේදී ඇති තැන කියා “එතං චීවරං තුය්හං විකප්පෙමි” යි ද, සිවුරු බොහෝ නම් “එතානි චීවරානි තුය්හං විකප්පෙමි” යි ද කිය යුතු ය. පච්චුද්ධාරය පෙර සේ ම ය.

කොට්ට-උර, ඇතිරිලි ආදිය නො ඉටීමෙන් ඇවැත් නො වේ. පරික්ඛාර චෝළ සැටියට ඉටීමේදී එකක් නම්, “ඉමං චීවරං පරික්ඛාරචොළං අධිට්ඨාමි” කියා ද, වැඩි ගණනක් නම්, “ඉමානි චීවරානි පරික්ඛාරචොළානි අධිට්ඨාමි” කියා ද අදිටන් කළ යුතු ය. අත්පසින් බැහැර ඇති සිවුරු ඉටීමේදී “එතං චීවරං පරික්ඛාර-චොළං අධිට්ඨාමි” කියා ද, “එතානි චීවරානි පරික්ඛාරචොළානි අධිට්ඨාමි” කියා ද අදිටන් කළ යුතු ය.