සභාගාපත්ති දෙසීම

“න භික්ඛවෙ! සභාගාපත්ති දෙසෙතබ්බා. යො දෙසෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ! සභාගාපත්ති පටිග්ගහෙතබ්බා. යො පටිග්ගණ්හෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”

යන බුද්ධ ප්‍රඥප්තිවල සැටියට සභාගාපත්ති දෙසීමෙන් හා පිළිගැනීමෙන් දුකුළා ඇවැත් වේ. “සභාගාපත්තිය” ය යනු දේශක ප්‍රතිග්‍රාහක දෙදෙනා ම පැමිණ සිටින ඇවත ය. විකාල භෝජනාදි යම් කිසි ආපත්තියකට පැමිණි භික්ෂුවක්, ඒ ඇවතට ම පැමිණ සිටින භික්ෂුවක් සමීපයෙහි, ඒ ඇවැත දෙසීම සභාගාපත්ති දේශනය ය. විකාල භෝජනාපත්තියට පැමිණි භික්ෂුවක් ඒ ඇවැත හා අනිකුත් ඇවැත් ද ගෙන, විකාල භෝජනාපත්තියට පැමිණ සිටින භික්ෂුවක් සමීපයෙහි “අහං භන්තෙ! සම්බහුලා ආපත්තියො ආපජ්ජිං. තා තුම්හ මූලෙ පටිදෙසෙමි” යි ඇවැත් දෙසුව හොත් දෙසූ සියලු ඇවැත්වලින් ඒ භික්ෂුව පිරිසිදු වේ.

සභාගාපත්තිය නො දෙසිය යුතුය යන නීතිය ඇති නිසා, ඒ ඇවැත්වලින් පිරිසිදු නො වන්නේ නො වේ. එයින් වන්නේ කලින් පැමිණ සිටි ඇවැත්වලින් පිරිසිදු වී අලුත් දුකුළා ඇවතකට පැමිණීම ය. ඒ භික්ෂුවගේ ඇවැත් පිළිගත් භික්ෂුව විසින්, පසුව ඒ භික්ෂුව කෙරෙහි ම විකාලභෝජනාපත්තියත්, සභාගාපත්ති පිළිගැනුමෙන් වූ ආපත්තියත්, තවත් ආපත්තිත් එක්කොට “සම්බහුලා ආපත්තියො ආපජ්ජිං තා තුම්හමූලෙ පටිදෙසෙමි” යි ඇවැත් දෙසුව හොත්, පළමු ඇවැත් දෙසූ භික්ෂුව විකාලභෝජනාපත්තියෙන් පිරිසිදු වී සිටින බැවින් සභාගාපත්ති දෙසීමේ වරදට අසු නො වේ. එසේ දෙසීමෙන් ඒ භික්ෂුව සියලු ම දේසනා ගාමිනී ඇවැත් වලින් පිරිසිදු වේ. පළමු ඇවැත් දෙසූ භික්ෂුවට ඊට පසු දෙවනුව ඇවැත් දෙසූ භික්ෂුව කෙරෙහි ම සභාගාපත්ති දෙසීමෙන් වූ ඇවත, දෙසා පිරිසිදු විය හැකි ය. එබැවින් ඔවුනොවුන් ඇවැත් දෙසා ගන්නා කල්හි සභාගාපත්ති ඇති නම්, පළමු ඇවැත් දෙසූ භික්ෂුව විසින් නැවත වරක් ද ඇවැත් දෙසිය යුතු ය.