කර්ම විපත්ති.

කර්ම විපත්තිය යනු කර්මයේ වරද ය. වරදවා කළ කර්මය කෙළේ ද කර්මයක් නො වේ. එබැවින් විනය කර්ම කරන කල්හි කොතැනකවත් වරදක් ඇති නො වන පරිදි ඉතා ශුද්ධ ලෙස කළ යුතු ය.

“ඉමානි චත්තාරි කම්මානි කතිහාකාරෙහි විපජ්ජන්ති? පඤ්චහාකාරෙහි විපජ්ජන්ති, වත්ථුනො වා ඤත්තිතො වා අනුසාවනතො වා සීමතො වා පරිසතො වා” යි.

පරිවාරයෙහි දැක්වෙන පරිදි ඉහත කී සතර වැදෑරුම් කර්මයෝ වස්තුවය, ඥප්තියය, අනුශ්‍රාවණයය, සීමාව ය, පිරිසය යන මොවුන්ගේ වශයෙන් විපත්ති කර්මයෝ වෙති. අධර්ම කර්මයෝ වෙති.

“සම්මුඛා කරණීයං කම්මං අසම්මුඛා කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං” යනාදීන් පරිවාරයෙහි දැක්වෙන පරිදි සම්මුඛයෙහි කළ යුතු කර්මයක් අසම්මුඛයෙහි කෙරේ නම්, පිළිවිස කළ යුතු කර්මයක් නො විචාරා කෙරේ නම්, ප්‍රතිඥාවෙන් කළ යුතු කර්මයක් ප්‍රතිඥාවක් නැතිව කෙරේ නම්, සති විනය දිය යුත්තහුට අමූළ්හ විනය දේ නම්, අමූළ්හ විනය දිය යුත්තහුට තස්සපාපිය්‍යසිකා කර්මය කෙරේ නම්, තස්සපාපිය්‍යසිකා කර්මය කළ යුත්තහුට තර්ජනීය කර්මය කෙරේ නම්, තර්ජනීය කර්මය කළ යුත්තහුට නියස්ස කර්මය කෙරේ නම්, නියස්ස කර්මය කළ යුත්තහුට පබ්බාජනීය කර්මය කෙරේ නම්, පබ්බාජනීය කර්මය කළ යුත්තහුට පටිසාරණීය කර්මය කෙරේ නම්, පටිසාරණීය කර්මය කළ යුත්තහුට උක්ෂේපනීය කර්මය කෙරේ නම්, උක්ෂේපනීය කර්මය කළ යුත්තහුට පිරිවෙස දේ නම්, පිරිවෙස දිය යුත්තාට මූලාය පටිකස්සනය කෙරේ නම්, මූලාය පටිකස්සනය කළ යුත්තහුට මානත දේ නම්, මානත දිය යුත්තහුට අබ්භාන කර්මය කෙරේ නම්, අබ්භානය කළ යුත්තහුට උපසම්පදා කර්මය කෙරේ නම්, නො පෝයෙහි පොහෝ කෙරේ නම්, අපවාරණයෙහි පවාරණය කෙරේ නම්, පණ්ඩකයකු, උපසම්පදා කෙරේ නම්, තිත්ථිය පක්කන්තකයකු, තිරිසනකු, මාතෘඝාතකයකු, පීතෘඝාතකයකු, අරහන්ත ඝාතකයකු, භික්ෂුණීදූෂකයකු, සඞ්ඝභේදකයකු, ලෝහිතුප්පාදකයකු, උභතෝබ්‍යඤ්ජනයකු, විසි වසට අඩු වයස් ඇතියකු උපසම්පදා කෙරේ නම්, වස්තු විපන්න අධර්ම කර්මයෝ ය.

අන්තරායයන් ඇති කල්හි දූතිකාවක මගින් කරන භික්ෂුණී උපසම්පදාවය, පත්තනික්කුජ්ජනයය උම්මත්තක සම්මුතියය, සේඛසම්මුතියය, බ්‍රහ්මදණ්ඩයය, ප්‍රකාශනීය කර්මයය, අවන්දිය කර්මයය යන කර්ම අට අසම්මුඛයෙහි ද කිරීමට සුදුසු කර්මයෝ ය. ඉතිරි කර්ම සියල්ල ම කළ යුත්තේ කර්මාර්හ පුද්ගලයාගේ සම්මුඛයෙහි ය. පුද්ගලයාගේ අසම්මුඛයෙහි කරන ලද්දාහු ඒ කර්මයෝ වස්තු විපන්න අධර්ම කර්මයෝ වෙති. අවිනය කර්මයෝ වෙති. පිළිවිස කළ යුතු කර්මයෙහි පුද්ගලයාගෙන් පිළිවිසීම ම වස්තුව ය. නො පිළිවිස කළ කල්හි ඒ කර්මය වස්තුවිපන්නතාවෙන් අධර්ම කර්මයක් වේ. උපසම්පදාදි කර්මයන්ට නුසුදුසු පුද්ගලයන්ට උපසම්පදාදි කර්ම කිරීමේදී ඒ පුද්ගලයන්ගේ නුසුදුසු බව ම වස්තු විපන්න භාවය ය.

“පඤ්චහාකාරෙහි ඤත්තියො කම්මානි විපජ්ජන්ති. වත්ථුං න පරාමසති, සඞ්ඝං න පරාමසති, පුග්ගලා න පරාමසති, ඤත්තිං න පරාමසති පච්ඡා වා ඤත්තිං ඨපෙති. ඉමෙහි පඤ්චහාකාරෙහි ඤත්තියො කම්මානි විපජ්ජන්ති” යි පරිවාරයෙහි දැක්වෙන පරිදි වස්තුව පරාමර්ශනය නො කිරීමය, සඞ්ඝයා පරාමර්ශනය නො කිරීමය, පුද්ගලයා පරාමර්ශනය නො කිරීමය, ඤත්තිය පරාමර්ශනය නො කිරීමය, පසුව හෝ ඤත්තිය තැබීමය යන කරුණු පසින් ඤත්තියෙන් කර්මයෝ විපත්තියට පැමිණෙති.

එහි “වස්තුව පරාමර්ශනය නො කිරීම ය” යනු උපසම්පදාදි කර්ම කරන කල්හි කර්මාර්හයාගේ නාමය නො යොදා ඥප්තිය කීම ය. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං නාගො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛො” යි කියයුතු තැන උපසම්පදාපේක්ෂකයාගේ නම හැර “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛො” යි කර්ම වාක්‍යය කීම වස්තු පරාමර්ශනය නො කිරීමය.

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං නාගො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛො” යි කියයුතු තැන “සඞ්ඝො” යනු නො කියා “සුණාතු මෙ භන්තෙ අයං නාගො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛො” යි කීම සඞ්ඝයා පරාමර්ශනය නො කිරීම ය.

පුද්ගලයා පරාමර්ශනය නො කිරීමය යනු උපසම්පදාපේක්ෂකයාගේ උපාධ්‍යායයාගේ නම නො කියා හැරීම ය. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං නාගො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛො” යි කිය යුතු තැන “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං නාගො උපසම්පදාපෙක්ඛො” යි කීම පුද්ගලයා පරාමර්ශනය නො කිරීම ය.

ඤත්තිය පරාමර්ශනය නො කිරීම ය යනු සම්පූර්ණයෙන් ඤත්තිය නො කියා අනුශ්‍රාවණය පමණක් කීම ය. පසුව ඤත්තිය තැබීමය යනු පළමුව අනුශ්‍රාවණය කියා පසුව “එසා ඤත්ති” යි කියා “ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමි” යි කීම ය.

“පඤ්චහාකාරෙහි අනුසාවණතො කම්මාති විපජ්ජන්ති. වත්ථුං න පරාමසති, සඞ්ඝං න පරාමසති, පුග්ගලං න පරාමසති. සාවණං හාපෙති, අකාලෙ සාවෙති ඉමෙහි පඤ්චහාකාරෙහි අනුසාවණතො කම්මානි විපජ්ජන්ති” යි පරිවාරයෙහි දැක්වෙන පරිදි වස්තුව පරාමර්ශනය නො කිරීමය, සඞ්ඝයා පරාමර්ශනය නො කිරීමය, පුද්ගලයා පරාමර්ශනය නො කිරීමය, අනුශ්‍රාවණය පිරිහෙවීමය, අකාලයෙහි අනුශ්‍රාවණය කිරීමය යනු කරුණු පසින් අනුශ්‍රාවණයෙන් කර්මයෝ විපතට පැමිණෙති.

මෙහි ද වස්තු පරාමර්ශනය නො කිරීම් ආදිය ඤත්තිය ගැන කී පරිදි දත යුතු ය. අනුශ්‍රාවණය පිරිහෙවීම යනු ඤත්තිය පමණක් කියා අනුශ්‍රාවණය නො කියා හැරීම ය. අකුරු හා වචන වරදවා කීමය යන කරුණු දෙක ය. අනුශ්‍රාවණය පමණක් නොව ඤත්තිය ද නො වරදවා කිය යුතු ය. කර්ම වාක්‍යය කියන භික්ෂූන් විසින් -

“සිථිලං දනිතඤ්ච දීඝරස්සං

ගරුකං ලහුකඤ්ච නිග්ගහිතං,

සම්බන්ධං වවත්ථිතං විමුත්තං

දසධා ව්‍යඤ්ජනබුද්ධියාප්පභෙදො.”

යන ගයෙන් දැක්වෙන කරුණු දශය සලකා ගෙන එය කළ යුතු ය. සිථිලය යනු අල්පප්‍රාණ අක්ෂරය ය. ධනිතය යනු මහාප්‍රාණ අක්ෂරය ය. නිග්ගහීතය යනු කරණය තද කරගෙන විවෘත ද නො වූ සර්වාකාරයෙන් ද නො වැසූ මුඛයෙන් නාසයෙන් සුළං යවමින් උච්චාරණය කළ යුතු වූ බින්දුව ය. විමුත්තය යනු කරණයන් තද කර නොගෙන මුඛය විවෘත කොට හුස්ම මුඛයෙන් පිට කරමින් කිය යුතු අක්ෂරය ය. මේ කරුණු සතර කර්ම වාක්‍යය කීමේදී විශේෂයෙන් සැලකිය යුතු ය. සිථිලය ධනිතය කොට ද, ධනිතය සිථිලය කොට ද, නිග්ගහීතය විමුත්තය කොට ද, විමුත්තය නිග්ගහීතය කොට ද කර්ම වාක්‍යය කීමෙන් කර්ම කෝපය වන බවත්, ඉතිරි කරුණු සය වැරද වීමෙන් කර්ම කෝපය නො වන බවත්, විනය අටුවාවෙහි දක්වා තිබේ. එහෙත් විනය කර්ම කිරීමේදී කියන ලද කරුණු දශය ම පිළිබඳව ශුද්ධිය ඇති වන පරිදි කර්ම වාක්‍යය කිය යුතු ය. අකාලයෙහි අනුශ්‍රාවණය කිරීමය යනු ඤත්තියට පළමුවෙන් අනුශ්‍රාවණය කිරීම ය.

එකොළොස් වැදෑරුම් විපත්ති සීමාවන්හි කරන කර්මයෝ සීමා විපත්තියෙන් විපතට පැමිණෙති. විපත්ති සීමා එකොළොස ඉහත සීමා බන්ධන විනය කර්ම විස්තරයේ කියා ඇත.

“ද්වාදසහි ආකාරයෙහි පරිසතො කම්මානි විපජ්ජනිත්” යනාදීන් දොළොස් ආකාරයකින් පිරිස නිසා කර්ම විපත්තිය වන බව පරිවාරයෙහි වදාරා තිබේ. කරන විනය කර්මයට සෑහෙන පමණට සුදුසු භික්ෂූන් සීමාවට නො පැමිණීම ය, ඡන්දය ගත යුතු භික්ෂූන්ගෙන් ඡන්දය නො ගැනීම ය, පැමිණි ඇතැම් භික්ෂූන් විසින් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් කර්මය වැළැක්වීම ය යන කරුණු තුනෙන් පිරිස නිසා කර්ම විපත්තිය වේ. මේ තුන් ආකාරය චතුර්වර්ග කරණීයාදි කර්ම කොට්ඨාස සතර හා යෙදීමෙන් පිරිස නිසා වන කර්ම විපත්තිය දොළොස් ආකාර වේ.