කර්ම සතර.

අපලෝකන කර්මයය, ඥප්ති කර්මයය, ඥප්ති ද්විතීය කර්මයය, ඥප්ති චතුර්ථ කර්මයය යි විනය කර්ම සතර වර්ගයෙකි.

සීමස්ථ සඞ්ඝයා රැස් කොට, නො පැමිණිය හැකියවුන්ගේ ඡන්දය ගෙන කාරණය සඞ්ඝයාට තුන්වරක් දැන්වීම් වශයෙන් සිදු කරන කර්මය ‘අපලෝකන කර්ම’ නම් වේ. කියන ලද පරිදි සඞ්ඝයාගේ අනුමතියෙන් “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො පණ්ණරසො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උපොසථං කරෙය්‍ය” යනාදීන් ඥප්තියෙන් පමණක් සිදු කරන කර්මය ‘ඥප්තිකර්ම’ නම් වේ. සඞ්ඝයාගේ අනුමතියෙන් ඥප්තිය සහිත එක් අනුශ්‍රාවණයකින් සිදු කරන කර්මය ‘ඥප්තිද්විතීය කර්ම’ නමි. එක් ඥප්තියකින් හා අනුශ්‍රාවණ තුනකින් සිදු කරන කර්මය ‘ඥප්ති චතුර්ථ කර්ම’ නම් වේ.

කර්ම වාක්‍යවල ‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො යන්නෙහි පටන් ‘එසා ඤත්ති’ යන්න දක්වා ඇති පූර්ව කොට්ඨාසය ඥප්තිය ය. ඉන් මතුයෙහි ඇති “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො” යනාදි වගන්ති කොටස් අනුශ්‍රාවණය ය.

මේ කර්මයන් අතුරෙන් අපලෝකන කර්ම වශයෙන් කළ යුත්ත අපලෝකනයෙන් ම මිස ඥප්ති කර්මාදි වශයෙන් නො කළ යුතු ය. ඥප්ති කර්මය හා ඤත්තිය තබා ම කළ යුතු ය. අපලෝකන කර්මාදි වශයෙන් නො කළ යුතු ය. ඥප්තිද්විතීය කර්මයන් කෙරෙහි අපලෝකනයෙන් කළ යුතු ඒවා ද නො කළ යුතු ඒවා ද ඇත්තේ ය. සීමා සම්මුති-සීමා සමූහනන-කඨින දාන-කඨිනුද්ධාර- කුටි වත්ථු දේශනා-විහාර වත්ථු දේශනා යන කර්ම සය ගරුකර්ම බැවින් ඥප්ති ද්විතීය කර්ම වාක්‍යය කියාම කළ යුතු ය. අපලෝකනයෙන් නො කළ යුතු ය. ඉතිරි තෙළෙස් සම්මුතිය හා සේනාසන ගාහක-මතක චීවර දාන සම්මුතිය ද යන මේවා ලඝු කර්ම බැවින් අපලෝකනයෙන් කිරීමෙන් ද වරද නැත. ඥප්ති කර්මය ඥප්ති චතුර්ථ කර්ම වශයෙන් නො කළ යුතුම ය. කර්ම වාක්‍ය කීමේදී අක්ෂර පද දෝෂයක් වී නම් ශුද්ධිය පිණිස නැවත නැවත කීම වටනේ ය. එසේ කිරීම අසිද්ධ කර්මයේ සිද්ධිය පිණිස ය, සිද්ධ කර්මයේ දළ්හිකර්මය පිණිස ද වේ. ඥප්ති චතුර්ථ කර්මය ඥප්ති තබා තුන්වර අනුශ්‍රාවණය කොට ම කළ යුතු ය. අපලෝකන කර්මාදි වශයෙන් නො කළ යුතු ය.