අධර්ම කර්ම ගැන පිළිපැදිය යුතු අයුරු

ෂඩ් වර්ගික භික්ෂූන් සඟ මැද අධර්ම කර්ම කරන්නට වූහ. ඒ බව භික්ෂූහු බුදුන් වහන්සේට සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “න භික්ඛවෙ අධම්මකම්මං කාතබ්බං, යො කරෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි අධර්ම කර්ම කරන භික්ෂූන්ට දුකුළා ඇවැතක් පණවා වදාළ සේක. එයින් ද නො නැවතී ඒ භික්ෂූහු අධර්ම කර්ම කරන්නට වූහ. භික්ෂූහු බුදුරජාණන් වහන්සේට ඒ බව සැල කළෝ ය. එකල්හි තථාගතයන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ අධම්මකම්මෙ කයිරමානෙ පටික්කොසිතුං” යනුවෙන් අධර්ම කර්මය කරන කල්හි එතැනට රැස්වූ භික්ෂූන් විසින් විරුද්ධත්වය ප්‍රකාශ කොට වළක්වන්නට අනු දැන වදාළ සේක. එසේ කරන කල්හි ෂට්වාර්ගික භික්ෂූහු කෝපය ඒ භික්ෂූන්ට තර්ජනය කළෝ ය. ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවෙ දිට්ඨිම්පි ආවිකාතුං” යනුවෙන් ‘මෙය අධර්ම කර්මයෙක, මෙය අපට නුරුස්නේය’ යි තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කරන්නට අනුදැන වදාළ සේක.

ෂට්වාර්ගික භික්ෂූන් අධර්ම කර්ම කරන කල්හි භික්ෂූහු එය තමන්ට නුරුස්නා බව ෂට්වාර්ගික භික්ෂූන්ට ම කීවෝ ය. එයින් ද කෝප වී ෂට්වාර්ගික භික්ෂූහු ඒ භික්ෂූන්ට තර්ජනය කළෝ ය. ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළ කල්හි අනුජානාමි භික්ඛවෙ චතූහි පඤ්චහි පටික්කොසිතුං, ද්වීහි තීහි දිට්ඨිං ආවිකාතුං, එකෙන අධිට්ඨාතුං යනුවෙන් භික්ෂූන් සතර පස් දෙනකුන් විසින් වැළැක්වීම කරන්නටත්, දෙතුන් දෙනකුන් විසින් ලබ්ධිය ප්‍රකාශ කරන්නටත්, එක් භික්ෂුවක් විසින් අධිෂ්ඨානය කරන්නටත් අනුදැන වදාළ සේක.

කර්ම වාක්‍යය කියන භික්ෂුව විසින් “යස්ස නක්ඛමති සො භාසෙය්‍ය” යි කී කල්හි එය අධර්ම කර්මයක් නම්, “අධම්මකම්මං එතං, න මෙ තං ඛමති” යි එය නුරුස්නා භික්ෂූන් විසින් තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කළ යුතු ය. සැමට ම ඇසෙන සේ ප්‍රකාශ කිරීමට බිය නම්, තමා සමීපයේ වෙසෙන භික්ෂුවකට එය ප්‍රකාශ කළ යුතු ය. එසේ ද නො හැකි කල්හි “න මෙ තං ඛමති” යි ඉටාගත යුතු ය.

කර්මයට සහභාගි වීම පිණිස සීමාවට පැමිණ සිටින භික්ෂුවක් විසින් පටික්කෝසනය කළ යටත් පිරිසෙයින් තමා සමීපයේ සිටින භික්ෂුවකට වුව ද තමාගේ අරුචිය ප්‍රකාශ කළ කර්මය, කර්මයක් නො වේ. සීමාවෙහිදී ම මිස පසුව අන් තැනකදී විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් කර්ම විපත්තියක් නො වේ. අනුපසම්පන්නයන්ගේ හා නා නා සංවාසකයන්ගේ ද, උපසම්පන්න උම්මත්තකයන්ගේ ද, සිහිසන් නැතිවන තරමේ බලවත් වේදනාවෙන් පෙළෙන භික්ෂුවගේ ද, සීමාවෙන් බැහැර සිටින භික්ෂුවගේ ද පටික්කෝසනයෙන් කර්මය අකර්මයක් නො වේ.

ආචාර්ය රේරුකානේ චන්දවිමල මහාස්ථවිර පාදයන් වහන්සේ විසින් සම්පාදිත විනය කර්ම පොත නිමි.