සීමා බන්‍ධන විනය කර්මය

සීමා බන්ධනය විනයානුකූලව නො කැරුනහොත් එහි කැරෙන විනයකර්ම එකකුදු නො හරියන බැවින් සීමා බන්ධනය ඉතා පරෙස්සමෙන්, ඉතා සැලකිල්ලෙන්, ඉතා පිරිසිදු ලෙස කළ යුතු විනය කර්මයෙකි. එය පිරිසිදු ලෙස කළ හැකි වීම පිණිස සීමා විපත්ති එකොළොස හා ත්‍රිවිධ සීමා සම්පත්තිය ද දත යුතු ය.

“අති ඛුද්දකා, අති මහති, ඛණ්ඩනිමිත්තා, ඡායානිමිත්තා, අනිමිත්තා, බහි සිමෙ ඨිතසම්මතා, නදියා සම්මතා, සමුද්දෙ සම්මතා, ජාතස්සරෙ සම්මතා, සිමාය සිමං සම්භින්දන්තෙන සම්මතා, සිමාය සිමං අජ්ඣොත්ථරන්තෙන සම්මතාති ඉමෙහි එකාදසහි ආකාරෙති සිමතො කම්මානි විපජ්ජන්ති”

මෙසේ වදාරා ඇති බැවින් ඉතා කුඩා සීමාවය, ඉතා මහත් සීමාවය, කඩවූ නිමිති ඇති සීමාවය, ඡායානිමිත්තෙන් සම්මත සීමාවය, නීමිති නො කියා සම්මත සීමාව ය, සීමාවෙන් පිටත සිට සම්මත කළ සීමාවය, නදියෙහි සම්මත සීමාවය, සමුද්‍රයෙහි සම්මත සීමාව ය, විලෙහි සම්මත සීමාවය, පුරාණ සීමාවක් හා මිශ්‍රකොට සම්මත සීමාවය, පුරාණ සීමාවක් යට කොට සම්මත සීමාවය, යන සීමා එකොළොස විපත්ති සීමාවෝය. ඒ සීමාවන්හි කරන විනය කර්මයෝ සිද්ධියට නො පැමිණෙති.

(1) ඉතා කුඩා සීමාව නම්, භික්ෂූන් විසිඑක් නමකට හිඳ විනයකර්මයක් කිරීමට ඉඩ නැත්තා වූ සීමාව ය.

(2) ඉතා මහත් සීමාව නම්, දිගින් පුළුලින් තුන් යොදුනකට වඩා මඳකුදු මහත් වන සීමාව ය.

(3) ඛණ්ඩනිමිත්ත සීමාව නම්, නිමිත්තෙන් නිමිත්ත ගටා නිමිත්ත කීර්තනය නො කොට සම්මත කළ සීමාව ය. නිමිති නම් සීමාවක මායිම් සලකුණු ය. සීමාවක් සම්මත කරන කල්හි විනයධරයා විසින් එක් තැනකින් පටන් ගෙන “පුරත්‍ථිමාය දිසාය කිං නිමිත්තං?” යනාදීන් නිමිති විචාරමින් එයට පිළිතුරු ලද කල්හි “එසො පාසාණො නිමිත්තං” යනාදීන් පිළිවෙලින් නිමිති කිය යුතු ය. එසේ කීමේදී අවසාන නිමිත්ත කියා නැවත එය පළමු කී නිමිත්ත හා සම්බන්ධ වනු පිණිස පළමු කීර්තනය කළ නිමිත්ත නැවත ද කීර්තනය කළ යුතු ය. එසේ නො කොට අවසාන නිමිත්ත කීර්තනයෙන් නවත්වා සම්මත කළ සීමාව, කඩවූ නිමිති ඇති සීමාවක් වේ. එය අසීමාවෙකි. තවද නිමිත්තට නුසුදුසු දෙයක් නිමිත්ත වශයෙන් ගෙන සම්මත කළ සීමාව ද ඛණ්ඩ නිමිත්ත සීමා නම් වේ.

(4) ඡායානිමිත්ත සීමාවය යනු වෘක්ෂ පර්වතාදි යම් කිසිවක ඡායා නිමිති වශයෙන් ගෙන සම්මත කළ සීමාව ය.

(5) අනිමිත්ත සීමාවය යනු නිමිති තබන ලදුයේ වී නමුත් නිමිත්ත කීර්තනය නො කොට සම්මත කළ සීමාව ය.

(6) සීමාවෙන් පිටත සිට සම්මත කළ සීමාවය යනු නිමිත්ත කීර්තනය කොට නිමිතිවලින් පිට සිට ගෙන සම්මත කළ සීමාව ය.

(7,8,9) “සබ්බා භික්ඛවෙ නදි අසීමා, සබ්බො සමුද්දො අසිමො, සබ්බො ජාතස්සරො අසිමො” යි වදාරා ඇති බැවින් ගඞ්ගාවෙහි හෝ මුහුදෙහි හෝ විලෙහි හෝ සම්මත කරන සීමාවෝ සීමා නො වෙති.

(10) කලින් සම්මත කළ සීමාවකින් සුළු කොටසක් හසුකොට සම්මත කළ සීමාව ද අසීමාවෙකි.

(11) කලින් සම්මත කළ සීමාවක් සම්පූර්ණයෙන් හෝ සීමාවකින් සතර නමකට වාඩිවිය හැකි තරමේ කොටසක් හෝ අසුකොට සම්මත කළ සීමාව පුරාණ සීමාවක් යට කොට සම්මත කළ සීමාව ය. එද අසීමාවෙකි.

ත්‍රිවිධ සම්පත්තිය යනු, ‘නිමිත්ත සම්පත්තියය. පරිස සම්පත්තියය, කම්මවාදා සම්පත්තියය’ යන මේ තුනය.

නිමිත්ත යනු සම්මත කරන භූමියේ මායිම් සලකුණු ය. “පඨමං නිමිත්තා කිත්තෙතබ්බා, පබ්බතනිමිත්තං, පාසාණනිමිත්තං, වනනිමිත්තං රුක්ඛනිමිත්තං මග්ග නිමිත්තං වම්මිකනිමිත්තං නදිනිමිත්තං උදකනිමිත්තං” යි වදාළ බැවින් සීමාවකට නිමිති වශයෙන් ගතයුතු වස්තු අටෙකි. එනම් පර්වතයය, ගලය, වනයය, වෘක්ෂයය, මාර්ගයය, තුඹසය, ගඟය, ජලයය යන මේ අටය.

පබ්බත නිමිත්ත

පස් කන්දය, ගල් කන්දය, පස් ගල් කලවම් කන්දය යි පර්වත තුන් වර්ගයෙකි. උස්ව පිහිටියේ ඇතකුගේ ප්‍රමාණයට කුඩා නම්, එය පර්වත සඞ්ඛ්‍යාවට නො ගැනේ. වැලි කඳු ද පර්වත සඞ්ඛ්‍යාවට නො ගැනේ. එබැවින් ඇතකු පමණට උස් නො වන කඳු හා වැලි කඳු සීමා නිමිති වශයෙන් නො ගනු ලැබේ. සතර පැත්තේ පර්වත සතරක් ඇති තැන ඒවා නිමිත්ත වශයෙන් කියා සීමා සම්මුතිය කළ හැකි ය. පර්වත තුනක් ඇති කල්හි නිමිති තුනෙන් ද සීමා බන්ධනය කළ හැකි ය. නිමිති එකකින් හෝ දෙකකින් සීමා බන්ධනය නො කළ හැකි ය. පර්වතයේ කොටසක් සීමා භූමියට ඇතුළු කොට බන්ධනය කරතහොත් පර්වතය සීමා නිමිත්ත වශයෙන් කීර්තනය නොකොට එහි පිහිටි ගසක් හෝ ගලක් හෝ තුඹසක් හෝ සීමා නිමිත්ත කර ගත යුතු ය. නිමිත්ත සෑම කල්හි ම සීමා භූමියෙන් පිටත තිබිය යුතු ය. ඒකාබද්ධ පර්වත දෙකක් එක් නිමිත්තක් වශයෙන් මිස නිමිති දෙකක් වශයෙන් නො ගත යුතු ය. වක්‍රපර්වතයක් සීමා භූමියෙන් දෙතුන් පැත්තක පිහිටියේ ද එය එක් දිසාවකට පමණක් නිමිත්ත වශයෙන් ගත යුතු ය. පර්වතය ඇතත් අනික් පැතිවලට අනික් දෙයක් නිමිත්ත කර ගත යුතු ය. සම්පූර්ණ පර්වතය සීමා භූමියට ඇතුළු කොට සීමා බන්ධනය කරතහොත් ඉන් පිටත පිහිටි ගස් ගල් ආදිය නිමිති කර ගත යුතු ය.

පාෂාණ නිමිත්ත.

කවර ජාතියකට වුවුද අයත් ගලක් සීමා නිමිත්තට යෝග්‍යය. යබොර ද පාෂාණ සඞ්ඛ්‍යාවට යේ. එබැවින් එය සීමා නිමිත්තට යෝග්‍යය. ඇතකු පමණට හෝ එයට වඩා හෝ මහත් ගල පර්වත නිමිත්ත වශයෙන් මිස පාෂාණ නිමිත්ත වශයෙන් කීර්තනය නො කළ යුතු ය. පාෂාණ නිමිත්ත වශයෙන් කීර්තනය කළ යුත්තේ ඇතකුට කුඩා ගල් ය. කුඩා ගල් කැට රාශියක් හෝ ගඩොල් කැටයක් හෝ පාෂාණ නිමිත්ත වශයෙන් නො ගත යුතු ය. “බත්තිංස පල ගුණපිණ්ඩ පරිමාණො වට්ටති න තතො ඛුද්දකතරො” යනුවෙන් දෙතිස් පලමක් බර සකුරු පිඩක් පමණ ඇති ගලට කුඩා ගලක් සීමා නිමිත්ත වශයෙන් නො ගත යුතු බව විනය අටුවාවේ දක්වා තිබේ.

මේ රටේ වෛද්‍යව්‍යවහාරයේ සැටියට මදටිය විස්සක් කලඳෙකි. කලං දොළොසක් පලමෙකි. ඒ මිම්මේ සැටියට පලම් දෙතිස රාත්තල් පසකුත් තුන් කාලක් පමණ වේ. මගධ දේශයේ භාවිත කරන මිම්ම ලෝකව්‍යවහාර මිම්මෙන් දෙගුණයක් ඇති බව ද දෙතිස් පලම මගධ මිම්මෙන් ගත යුතු බව ද කියති. නා නා මිනුම් ක්‍රම ඇති බැවින් අටුවාවෙහි දැක්වෙන පලම අවිනිශ්චිය. එහෙත් එතරම් විශාල සකුරු පිඩු ඇතිවිය නො හෙන බැවින් අඩි දෙකතුන පමණ ඇති තැනට සීමා නිමිති වශයෙන් ගන්නා ගල් කණු සීමා නිමිත්තට ප්‍රමාණ නො වෙතැයි නො කිය හැකි ය.

බුරුමයේ විනය ගරුක තෙරුන් වහන්සේලා නිමිති වශයෙන් ගල් කණු සිටවා සීමා බන්ධනය නො කෙරෙති. වළවල් සාරා ජලය පුරවා උදක නිමිත්තයෙන් සීමා බන්ධනය කෙරෙති. තැන් දැන ගැනීම සඳහා ගල් කණු පසුව ඒ තැන්වල පිහිටවති. ගල්තලාව කොපමණ මහත් වුව ද පාෂාණ නිමිත්ත ලෙස ගත හැකි ය. ඉදින් මහ ගල්තලාවකින් කොටසක් සීමා භූමියට ඇතුළු කරනු කැමැත්තේ නම් ගල්තලාව සීමා නිමිත්තක් වශයෙන් නො ගෙන එය මතුයෙහි ඇති අනිකක් සීමා නිමිත්ත කර ගත යුතු ය. එකම ගල්තලාවක් සීමා භූමියෙන් දෙතුන් පැත්තක පිහිටියේ නම් එය එක් පැත්තක නිමිත්ත වශයෙන් පමණක් ගත යුතු ය. එකම ගල්තලාව නිමිති දෙක තුනක් වශයෙන් කීර්තනය නො කළ යුතු ය. අනික් පැති වලට නිමිති වශයෙන් අනික් දෙයක් ගත යුතු ය.

වන නිමිත්ත.

ඇතුළත හරය නැති තල් පොල් කිතුල් ආදී ගස් වලින් සැදුණු වනය සීමා නිමිත්ත වශයෙන් ගැනීමට නුසුදුසු ය. සීමා නිමිත්ත වශයෙන් ගත යුත්තේ ඇතුළත හරය ඇති ගස් වලින්ම සැදුණා වූ හෝ ඇතුළත හරය ඇති ගසින් මිශ්‍ර වූ හෝ වනය ය. වනයක් වීමට යටත් පිරිසෙයින් ගස් සතරක් පහක්වත් තිබිය යුතු ය. ගස් දෙක තුනක්, වන නිමිත්තක් වශයෙන් නො ගත යුතු ය. නිමිත්ත වශයෙන් ගන්නා වනය කොතෙක් මහත් වුව ද මහත් වීමෙන් දෝෂයක් නැත්තේ ය. වන මැද සීමා බන්ධනයක් කරත හොත් වනය නිමිත්තක් වශයෙන් නො ගත යුතු ය. වනයෙන් කොටසක් ඇතුළු කොට සීමා බන්ධනය කිරීමේදී ද වනය නිමිත්තක් වශයෙන් නො සැලකිය යුතු ය. සීමා භූමිය තුළ වනයක් නැතිව ඒ භූමිය වටා වනය පිහිටා ඇති තැනක සීමා බන්ධනය කිරීමේදී වටා පිහිටි වනය එක් දිශාවකට නිමිත්ත වශයෙන් කීර්තනය කළ හැකි ය.

රුක්ඛ නිමිත්ත.

වෘක්ෂ නිමිත්ත වශයෙන් ගන්නා ගස ද ඇතුළත හරය ඇති ගස් වර්ගයකට අයත් ගසක් විය යුතු ය. හුණ-බට-පොල්-පුවක් ආදි හරය පිට පිහිටි ගස් සීමා නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු නො වේ. ඇතුළත හරය ඇති ගස් වර්ගයකට අයත් නම්, උසින් අටඟුලක් පමණ වූ ද, මහතින් පන්හිඳක් පමණ වූ ද, ජීවමාන ගස සීමා නිමිත්තට සුදුසු ය. මහත් වූයේ ද මළ ගස නුසුදුසු ය. බිම පිහිටි ගස මිස භාජනයක පිහිටි ගස සීමා නිමිත්තට නුසුදුසු ය. භාජනයක රෝපිත ගසක් සීමා නිමිත්ත කරනු කැමැත්තේ නම්, එය බිම පිහිටවා ගත යුතු ය. එකෙණෙහි ම රෝපනය කළ ජීවත්වීම ගැන විශ්වාසය නොතැබිය හැකි ගස ද සීමා නිමිත්ත වශයෙන් නො ගත යුතු ය. අතුවලින් මුල් බැස විශාල ප්‍රදේශයක පැතිර පවත්නා නුග ගස් ඇත්තේ ය. එබඳු ගස එක් තැනකට මිස දෙතුන් පලකට නිමිත්ත වශයෙන් කීර්තනය නො කළ යුතු ය. නොයෙක් තැන්වලට මුල් බැස ඇතත් ගස එකක් ම වන බැවිනි.

මග්ග නිමිත්ත.

වතු කුඹුරු වැව් පොකුණු ආදියට යන කෙටි පාරවල් සීමා නිමිත්තට නුසුදුසු ය. සීමා නිමිති වශයෙන් ගත යුත්තේ යටත් පිරිසෙයින් ගම් දෙක තුනක්වත් විනිවිද යන දීර්ඝ මාර්ගය ය. යම් කිසි පිය මඟක් රිය මගින් පටන් ගෙන නැවත ඒ රිය මඟට ම වැටී කෙළවර වේ නම්, ඒ මඟ ද සීමා නිමිත්තක් වශයෙන් නො ගත යුතු ය. දීර්ඝ මාර්ගයක් වුව ද මගීන් විසින් හැර දමන ලද්දක් වේ නම්, එද සීමා නිමිත්තකට නුසුදුසු ය. සීමා නිමිත්ත වශයෙන් කීර්තනයට සුදුසු වන්නේ මගීන්ගේ ගමන් කිරීම ද ඇති යටත් පිරිසෙයින් ගම් දෙක තුනක්වත් විනිවිද යන මාර්ගය ය. වෙන් වශයෙන් පටන් ගැනීම ඇති දෙමඟක් යම් කිසි තැනක දී එක් වී ඇති නම්, ඉන් එකක් මිස දෙක ම සීමා නිමිති නො කළ යුතු ය. සීමා නිමිති එකිනෙක වෙන්ව තිබිය යුතු ය.

වම්මික නිමිත්ත.

එදින ම බඳිනා ලද අටඟුලක් උස ඇති ගව අඟක් පමණ මහත් වූ තුඹස ද සීමා නිමිත්ත වශයෙන් ගැනීම සුදුසු ය. එයට ද කුඩා තුඹසක් සීමා නිමිත්තක් වශයෙන් ගැනීමට සුදුසු නො වේ. කන්දක් පමණ මහත් වූයේ ද තුඹස සීමා නිමිත්තට සුදුසු වේ. සීමා භූමිය වටා ඒකාබද්ධව පිහිටි තුඹසක් වේ නම්, එය එක් දිශාවකට නිමිත්ත වශයෙන් ම කීර්තනය කළ යුතු ය.

නදි නිමිත්ත.

වස්සාන සෘතුවෙහි දස දිනකට පසළොස් දිනකට වර බැගින් වර්ෂාව පවත්නා කල්හි, යමක වර්ෂාව නැවතුණු කෙණෙහි ම වතුර ගලා යාමද නවතින්නේ නම්, එය නදී සඞ්ඛ්‍යාවට නො පැමිණේ. යමක කියන ලද පරිදි වර්ෂාව පවත්නා කාලයේ වස්සාන සෘතුවෙහි නො නැවතී ජලය ගලා යාම සිදු වේ නම්, විනයෙහි නියමිත පරිදි තුන් මඬුලු වසා හැඳි භික්ෂුණිය තොටින් හෝ නො තොටින් හෝ ගඟට බැස එතර වන කල්හි ඇගේ අඳනය තෙමෙන පමණට ජලය ඇත්තේ නම්, ඒ නදිය සීමා නිමිත්තට හා අනිකුත් විනය කර්මවලට ද සුදුසු නදිය වේ. නියං කාලවලදී වතුර ගලා යාම නැවතී ඇත්තේ ද නදිය අනදියක් නො වේ. එකල්හි ද එය නදී නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු ය.

මිනිසුන් විසින් අමුණු බැඳීමෙන් කුඩා නදියක වතුර ගලායාම නැවතී ගියේ නම්, ඉන් පසු එය නදී නිමිත්ත වශයෙන් ගැනුමට සුදුසු නො වේ. ආවරණය ඉක්මවා වතුර ගලා යේ නම් නදී නිමිත්තට සුදුසු ය. නදී නිමිත්ත වශයෙන් කීර්තනයට සුදුසු වන්නේ ගලා යන ජලය ය. නැවතී ඇති ජලය සීමා නිමිත්ත වශයෙන් කීර්තනය කරතහොත් කළ යුත්තේ උදක නිමිත්ත වශයෙනි. සීමාභූමිය වටා ගලායන ගඟ එක් දිශාවකට මිස දිශා දෙක තුනකට නිමිත්ත වශයෙන් නො ගත යුතු ය. සීමා භූමිය වටා පිහිටි එකිනෙකට සම්බන්ධයක් නැති ගඞ්ගා ඇත්තේ නම් ඒවා ඒ ඒ දිශාවේ නිමිති වශයෙන් ගත හැකි ය. මහා ගඞ්ගාවකින් වතුර ගැනීම පිණිස කැපූ ඇල නිතර වතුර ගලා යන්නක් වුව ද සීමා නිමිත්තට සුදුසු නො වේ. මිනිසුන් කැණූ ඒ ජලමගෙහි පසුව බොහෝ ගඟදිය ගලා යාමෙන් මහත් වී ඔරුපාරු යන කිඹුලුන් වෙසෙන ගඟක් වී නම්, එකල්හි එය ද නදීනිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු වේ. නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු නදියේ දිග පුළුල ප්‍රමාණයක් දක්වා නැත.

උදක නිමිත්ත.

පොළොවෙහි කොතැනක හෝ රැස්ව ඇති ගලා නො යන ජලය උදක නිමිත්තට සුදුසු ය. එහි ප්‍රමාණ නියමයක් නැත. ඌරන් බල්ලන් කැණූ වළක හෝ ක්‍රීඩා පිණිස ළමයින් කැණූ වලක හෝ රැස්වී ඇති ජලය උදක නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු වේ. එකෙණෙහි ම වළ කැණ පුරවන ලද ජලය වුවද කර්ම වාක්‍යය කියා අවසන් වන තුරු පවත්නේ නම් එය ද සීමා නිමිත්ත වශයෙන් ගැනුමට සුදුසුය. එබඳු සුළු ජලයක් නිමිත්ත කොට සීමා බන්ධනය කළ කල්හි පසු කාලයේදී සීමා භූමිය හැඳින ගත හැකිවීමට නිමිත්ත කරගත් ජලය පිහිටි තැන්වල ගල්-ටැම් පිහිටවිය යුතු ය. අන්‍ය ස්ථිර සලකුණක් හෝ පිහිට විය යුතු ය.

සීමා සම්මුතිය සඞ්ඝ කර්ම කිරීම සඳහා ය. ඉඩම්වල අයිතිය පිළිබඳ කරුණක් නො වන බැවින් ඒ තැන්වල ගල් කණු පිහිටවීමෙන් භික්ෂූන්ට ද වරදක් නො වේ. සීමා සම්මුතියේදී ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. කවුරුන් අයත් බිමක වුව ද සීමා බන්ධනය කළ හැකි ය. සීමා බන්ධනය නිසා ඒ භූමිය සඟසතු වන්නේ නොවේ.

සීමාබන්ධන විනයකර්මය කළ හැකිවීමට සතර නමකට නො අඩු භික්ෂු පිරිසක් එක්රැස් විය යුතු ය. සීමා බන්ධනය කරන්නේ ද ග්‍රාම සීමාව තුළය. එබැවින් සීමා බන්ධනයක් කරන කල්හි ඒ ගම තුළ බද්ධසීමාවලට නො පිවිස ඉන්නා සියලු භික්ෂූන් ඒ ස්ථානයට පමුණුවා ගත යුතු ය. පමුණුවා ගත නොහෙන භික්ෂූන්ගේ ඡන්දය ගත යුතු ය. එසේ කිරීමෙන් සීමාබන්ධනය පරිස සම්පත්තියෙන් යුක්ත වේ. සීමා බන්ධනය කරන ගම තුළ ඡන්දය නො දී, එතැනට නො පැමිණ, එක භික්ෂුවකුදු වූයේ නම්, පරිසවිපත්තිය නිසා සීමාබන්ධනය සිදු නො වේ.

සමහර ගම්වල විනයෙහි අවිසාරදයන් විසින් නුසුදුසු පරිදි බන්ධනය කළ විපත්ති සීමා ද තිබිය හැකි ය. එබඳු සීමා අසීමා බැවින් සීමා බන්ධනය කරන ගම තුළ එබඳු අසීමාවක ඡන්දය නුදුසු භික්ෂුවක් වී නම් එයින් නව සීමාව ද අසීමාවක් වේ. කලින් තිබෙන සීමාවල තත්ත්වය නො දත හැකි බැවින් යම් කිසි ගමක සීමාවක් බඳින කල්හි එගම වෙසෙන සියලුම භික්ෂූන් එතැනට පමුණුවාගෙන සැක සහිත භික්ෂූන් ගමින් බැහැර කර, සීමා බන්ධනය කිරීම වඩා හොඳ නිසැක ක්‍රමය ය. බුදුන් වහන්සේ විසින් සීමා බන්ධනය සඳහා වදාළ කර්මවාක්‍යය නො වරදවා කියා බන්ධනය කිරීමෙන් සීමා බන්ධන කර්මය, කර්මවාක්‍යය සම්පත්තියෙන් යුක්ත වේ.

අනු මාතෘකා