සීමා භූමි ශුද්ධිය.

star_outline

නව සීමාවක් බන්ධනය කරන කල්හි භූමිය ශුද්ධ කරන්නේ මෙසේ ය:- සීමා බන්ධනයට ගන්නා භූමි භාගය හා එයට පිටින් සතර දිශාවෙන් ම බඹ දෙකක් පමණ භූමියක් සම කොට පිරිසිදු කොට මඤ්චප්‍රමාණ කොටුවලට වෙන් කළ යුතු ය. එය කරන කල්හි කුඤ්ඤ ගසා ලණු ඇද ඉරි ඇඳීමෙන් හෝ සුණු ආදී ද්‍රව්‍යයකින් ඉරි ගැසීමෙන් හෝ සියලුම කොටුවල සතර කොණට කුඤ්ඤ ගසා තැබීමෙන් හෝ පිරිසිදු ලෙස කළ යුතු ය. ඉක්බිති සතර නමක් වූ හෝ පස් නමක් ස-නමක් වූ හෝ භික්ෂු පිරිසක් විසින් සියලුම කොටුවල සිට පිළිවෙලින් සීමා සමූහනන කර්මය කළ යුතු ය. එය කරන කල්හි ඒ කර්මයට සහභාගි නො වන සියලුම භික්ෂූන් ගමෙන් ම බැහැර කොට ග්‍රාම ශුද්ධියත් කර ගෙන ම කරතහොත් වඩා හොඳ ය. ගම ශුද්ධ කළ නො හෙතහොත් ඒ සමීපයෙහි බඹ විස්සක් විසිපහක් තරම ප්‍රමාණයෙන් අන්‍ය භික්ෂූන් බැහැර කර සමූහනන කර්මය කළ යුතු ය.

කර්මයට සහභාගි වන භික්ෂූන්ගේ කර්මයට යෝග්‍යායෝග්‍ය භාවය තේරුම් ගැනීම ද දුෂ්කර බැවින් වෙනස් වෙනස් වූ භික්ෂු සමූහ ලවා සමූහනන කර්මය දෙතුන් වරක් කරවීම ශුද්ධිය පිණිසත් සීමාව පිළිබඳ සැක දුරුවීමටත් හොඳ ය. මේ කර්මය කරන කල්හි විනය නො දත් ඇතැම් භික්ෂූන්ට කර්මය කරනු බලා සිටින්නට ඒ සමීපයට එන්නට සිත් වනු ඇත. භික්ෂූන් සමීපයට එතොත් වැළැක්විය යුතු ය. මඤ්චප්‍රමාණය යනු දිගින් පස් රියනක් හා පුළුලින් දෙරියන් හමාරක්වූ ප්‍රමාණය ය. යම්කිසි භූමියක එසේ වෙන් කළ ගැබ් සියල්ලෙහිම සඞ්ඝයා සිට සමූහනන කර්මය කළ කල්හි පුරාණ සීමාවකින් කෙබඳු කොටසක් හෝ ඒ භූමියට හසු වී තිබුණා නම්, ඒ සීමා සමූහනනය වී භූමිය ශුද්ධ වන්නේ ය.

නව සීමා භූමියක් ශුද්ධ කර ගැනීමට මෙසේ සමූහනනය කරන්නේ කොතැනක ඇත ද යන බව නො දන්නා සීමාවෙකි. සීමා සමූහනනයක් සිදුවන්නේ ද ඒ කර්මය කරන භික්ෂූන් සමූහනනය කරන සීමාව තුළ ම සිට සමූහනනය කළහොත් ය. සමූහනන කර්මය කරන භික්ෂූන් සතර නමගෙන් එක නමක්වත් සීමා භූමියෙන් පිටත සිටියේ නම් සමූහනනය සිදු නො වේ. ගැබ් වෙන් කොට සැම තැනම සිට සීමා සමූහනනය කළ යුත්තේ කොතැනක සීමාවක් තුබුණත් සමූහනනය වීම පිණිස ය.

නව සීමාව බන්ධනය කරන භූමි භාගයට සමහර විට භික්ෂූන් සතර නමකට ඉන්නට ප්‍රමාණ නො වන තරමේ කුඩා කොටසක් පුරාණ සීමාවකින් හසු වී තිබිය හැකි ය. නව සීමාව බන්ධනය කරන භූමි භාගයෙහි පමණක් සමූහනන කර්මය කිරීමෙන් ඒ කුඩා කොටස හසු වී ඇති සීමාව සමූහනනය නො වේ. එය තුළ සඞ්ඝයා සිට සමූහනනය නො කැරුණ බැවිනි. යටත් පිරිසෙයින් බඹ දෙකක මානයේවත් නව සීමාවෙන් පිටත භූමියෙහි සමූහනන කර්මය කළ යුත්තේ එහෙයිනි. සමූහනන කර්මය කරන සමීපයට තවත් භික්ෂූන්ට පැමිණෙන්නට නො දිය යුත්තේ සමූහනනය කරන පුරාණ සීමාවට, ඒ කර්මය කරද්දී තවත් භික්ෂූන් ඇතුළු වී සිටියහොත් සමූහනනය සිදු නො වන බැවිනි.

“සීමා භික්ඛවෙ! සමුහනන්තෙන පඨමං තිචීවරෙන අවිප්පවාසො සමුහන්තබ්බො. පච්ඡා සමාන සංවාසා සිමා සමුහන් තබ්බා” යන විනය නීතිය පරිදි සීමා සමූහනනය කරන කල්හි පළමු කොට අවිප්‍රවාස සීමා සමූහනන කර්ම වාක්‍යයෙන් අවිප්‍රවාස සීමා සමූහනනය කළ යුතු ය. ඉක්බිති සමාන සංවාස සීමා සමූහනන කර්ම වාක්‍යයෙන් සමානසංවාස සීමා සමූහනනය කළ යුතු ය. සමානසංවාස සීමා හා අවිප්පවාස සීමා එකම භූමියෙහි ම ඇති බැවින් දෙයාකාරයෙන්ම සමූහනනය නො කළහොත් භූමි ශුද්ධිය නො වේ.

කියන ලද පරිදි ක්‍රමානුකූලව සමූහනන කර්මය කළ පසු ඒ භූමි භාගයට හසු වූ පුරාණ සීමා වී නම්, ඒ සියල්ල ම නැති වී ඒ බිම ශුද්ධ ග්‍රාම සීමාව වන්නේ ය. ග්‍රාම සීමාවෙහි ද සියලු විනය කර්ම කළ හැකි ය. සීමා බන්ධනය කරන්නේ ද ග්‍රාම සීමාව තුළම ය. ගම ම සියලු විනය කර්මවලට සුදුසු සීමාව වී තිබියදී එහි තවත් සීමා බන්ධනය කරන්නේ විනය කර්ම කිරීම පහසු වීමට ය. ග්‍රාම සීමාවෙහි විනය කර්මයක් කරතහොත් ගම තුළ ඉන්නා සියලු භික්ෂූන් එතැනට රැස් කර ගත යුතු ය. නො පැමිණිය හැකි භික්ෂූන්ගේ ඡන්දය ගෙන්වා ගත යුතු ය. එසේ කොට විනය කර්මයක් කරන කල්හි හදිසියෙන් ඒ ගමේ කොතැනකට හෝ භික්ෂුවක් පැමිණියේ නම්, එයින් කර්ම විපත්තිය වේ. කරුණු මෙසේ හෙයින් ග්‍රාම සීමාවල නිතර විනය කර්ම කිරීම පහසු නැත. කුඩා සීමාවක් බැඳ ගත් කල්හි විනය කර්මයකට එක් රැස්කර ගත යුත්තේ ඒ සීමාව තුළ ඉන්නා භික්ෂූන් පමණ ය. සීමාවෙන් පිටත පෙනි පෙනී වුවද කොතෙක් භික්ෂූන් සිටියේ ද එයින් සීමාව තුළ කරන කර්මවලට හානියක් නැත. කුඩා සීමා බන්ධනය කරන්නේ ඒ ප්‍රයෝජනය සඳහා ය.

ක්‍රමානුකූලව සීමා සමූහනනය කොට භූමිය ශුද්ධකර ගත් පසු පාෂාණනිමිත්යෙන් සීමා බන්ධනය කරන්නේ නම්, සතර දිශාවෙහි හෝ අට දිශාවෙහි හෝ ප්‍රමාණවත් ගල්ටැම් පිහිටවිය යුතු ය. උදක නිමිත්තයෙන් සීමා බන්ධනය කරන්නේ නම් සතර දිශාවෙහි හෝ අට දිශාවෙහි ම හෝ වළවල් සාරවා ජලය පිරවිය යුතු ය. භූමි ශුද්ධිය කරන්නට කලින් ගල්කණු සිටවා තැබීම ද වරද නැත. පිළියෙල කළ නිමිති ඇතුළත සීමා බන්ධනය කරන කාලයෙහි ඒ ඒ ගමෙහි වෙසෙන සභාග භික්ෂූන් සැමදෙනා ම ඒ ඒ සීමා භූමියට පමුණුවා ගත යුතු ය. එතැනට නො පැමිණ ඒ ගම තුළ වෙසෙන තවත් භික්ෂූහු වෙත් නම්, ඒ භික්ෂූන්ගෙන් ඡන්දය ගෙන්වා ගත යුතු ය. කර්මය කරන වෙලාවට එතනට නො පැමිණෙන භික්ෂූන්ට ඒ ගමෙන් පිටතට වී ඉන්නට හෝ සැලැස්සිය යුතු ය.

හදිස්සියෙන් ගමට ඇතුළුවන ආගන්තුක භික්ෂූන් නැවැත්වීම පිණිස මාර්ගවල ආරක්ෂකයන් තැබිය යුතු ය. සීමා බන්ධන කර්මය කරන අතර ගමින් වැටී ඇති මාර්ගයක රථයක වුව ද භික්ෂුවක් ගමන් කළේ නම්, සීමා බන්ධනය ව්‍යර්ථ වේ. ගම ආරක්ෂා කොට සීමා බන්ධන ස්ථානයට සඞ්ඝයා රැස්වූ පසු ප්‍රථමයෙන් බන්ධනය කරන සීමාවේ නිමිති සඞ්ඝයාට ඇසෙන සේ කිය යුතු ය. එය කළ යුත්තේ කර්ම වාක්‍යය කියන භික්ෂූන් වහන්සේ විසිනි. කර්ම වාක්‍යය කියන භික්ෂුව නැගිට සීමා භූමියේ නැගෙනහිර දිග සිට “පුරත්ථිමාය දිසාය කිං නිමිත්තං?” යි නැගෙනහිර දිශාවේ නිමිත්ත කුමක්දැයි විචාළ යුතු ය. නිමිත්ත ගල්කණුවක් නම්, අනිකකු විසින් “පාසාණො භන්තෙ” යි එයට පිළිතුරු දිය යුතු ය. පිළිතුරු දී ම අනුපසම්පන්නයකු විසින් කළ ද වරද නැත. ඉක්බිති විනයධරයා විසින් සඞ්ඝයාට ඇසෙන සේ “ඵසො පාසාණො නිමිත්තං” යි නිමිත්ත කිය යුතු ය.

ඉක්බිති ගිනිකොණට ගොස් “පුරත්ථිමාය අනුදිසාය කිං නිමිත්තං?” යි විචාළ යුතු ය. එහි නිමිත්ත ගල්ටැඹක් නම් “පාසාණො භන්තෙ” යි පිළිතුරු දිය යුතු ය. ඉක්බිති විනයධරයා විසින් “ඵසො පාසාණො නිමිත්තං” යි නිමිත්ත කිය යුතු ය. මෙසේ පිළිවෙලින් අට දිගම නිමිති විචාරා කියා අවසන් කළ පසු නිමිත්තෙන් නිමිත්ත සම්බන්ධවනු පිණිස නැවත ද නැගෙනහිරට ගොස් පළමු කී පරිදි ම නිමිත්ත විචාරා කිය යුතු ය. මෙසේ එක් වරක් නිමිත්ත කීර්තනය ද ප්‍රමාණ වේ. එහෙත් තුන් වරක් ම එසේ කළහොත් වඩා හොඳ ය.

නිමිත්ත කීර්තනය කරන කල්හි එක් දිශාවක නිමිති බොහෝ ගණනක් ඇති නම්, “පුරත්ථිමාය දිසාය කිං නිමිත්තං?”යි පළමුවන නිමිත්ත විචාරා එතැන් පටන් ඇති නිමිත් “පුරත්‍ථිමාය දිසාය අපරං කිං නිමිත්තං” යි නිමිති ඇතිතාක් විචාරමින් කීර්තනය කළ යුතු ය. ඉතිරි දිශාවලදී ද එසේම පිළිපැදිය යුතු ය. නිමිත්ත කීර්තනයෙන් පසු “සීමං භික්ඛවෙ සම්මන්නන්තෙන පඨමං සමානසංවාසා සීමා සම්මන්නිතබ්බා පච්ඡා තිචීවරෙන අවිප්පවාසො සම්මන්නිතබ්බො” යි වදාළ පරිදි සීමා සම්මුතිය කිරීමේදී ප්‍රථමයෙන් සමානසංවාස සීමා සම්මුතිය කළ යුතු ය. පසුව සුදුසු පරිදි ඒ බිම ම තිචීවරෙන අවිප්පවාස සම්මුතිය කළ යුතු ය. බුද්ධාඥාව පරිදි නො වරදවා “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො” යනාදි සීමා බන්ධන කර්ම වාක්‍යය කියා අවසන් කරනු සමග ම කීර්තනය කළ නිමිති ඇතුළත වූ භූමි භාගය, පෘථිවි සන්ධාරක ජලය තෙක් ම සඞ්ඝයාගේ විනය කර්මයන්ට සුදුසු සීමා භූමිය වන්නේ ය.

මෙසේ වරක් සීමා බන්ධනය කළ භූමි භාගය සඞ්ඝයා විසින් නැවත සමූහනනය නො කළහොත් සර්වඥශාසනය පවත්නාතාක් සීමාවක් වශයෙන් ම පවත්නේය. නැවත ඒ බිම අසීමාවක් කළ හැක්කේ සඞ්ඝයා විසින් පමණෙකි. පසු කලෙක පස් පුරවා සීමා භූමිය උස් කළේ ද ඒ බිම සීමාවම ය. සීමා භූමිය යට කොට ගඟක් ගලා ගියේ ද එහි කණු සිටවා මැසි බැද විනය කර්මය කළ හැකි ය.

මහා සීමා ඛණ්ඩ සීමා වශයෙන් සීමා දෙකක් බන්ධනය කරතහොත් ඒ සීමා දෙකට අතර හිස් භූමියක් ඉතිරි කළ යුතු ය. ඛණ්ඩ සීමාවේ නිමිතිවලට පිටින් සීමාන්තරිකය වෙන්ව පෙනෙන පරිදි ගල් කණු ද පිහිට විය යුතු ය. මෙකල මහා සීමා බන්ධනයක් නො කෙරෙන බැවින් ඛණ්ඩසීමා මහාසීමා වශයෙන් සීමා බන්ධනය කිරීමේ ක්‍රමය මේ පොතට ඇතුළු නො කරන ලදි.