නව සීමා බන්ධනය

සීමා බන්ධනය විනාඩි ගණනකදී සිදු කළ හැකි කර්මයකි. එයට ඇති දුෂ්කර දෙය සීමා භූමිය ශුද්ධ කර ගැනීම ය. සඞ්ඝයා විසින් ත්‍රිවිධ සම්පත්තියෙන් යුක්ත කොට සීමාවක් සම්මත කළ කල්හි, එහි මායිම් සලකුණු සියල්ල නැති වී ගියේ ද, සීමාව දන්නා භික්ෂූන් නැති වී ගියේ ද, සඞ්ඝයා විසින් කර්මවාක්‍යයෙන් සමූහනනය නො කරන ලදුයේ නම්, සියලු විනය කර්ම කිරීමට සුදුසු සීමාවක් වශයෙන් එය ශාසනාන්තර්ධානය දක්වා ම පවත්නේ ය. පොළොවේ පස ඉවත් කර සීමා භූමියක් ජලාසයක් කෙළේ ද ඒ බිම සීමාව ම ය. වරක් සම්මත කළ සීමාවක් නැවත අසීමාවක් වීමට සඞ්ඝයා විසින් කර්ම වාක්‍යයෙන් සමූහනනය කළ යුතු ය. සමූහනනයෙන් පසු ගල් කණු ආදී නිමිති ඇත ද ඒ බිම අසීමාවෙකි.

මේ දිවයිනෙහි බුදුසස්න පිහිටා දැනට වර්ෂ දෙදහසකට අධික කාලයක් ඉක්ම ඇත්තේ ය. ඒ දීර්ඝකාලය තුළ රටේ තැනින් තැන ඇති වී ලකුණකුදු ඉතිරි නොවී අභාවයට ගිය විහාරස්ථාන බොහෝ ය. ඒවායේ විනය කර්ම කිරීමට සීමා බැඳ තුබුණු බවට ද සැකයක් නැත. ඒවායේ සලකුණු ද අද දක්නට නැත. සලකුණු නැත ද අදත් ඒ බිම් විනය කර්ම කිරීමට සුදුසු සීමා ය. මේ රටේ ඒ නො දත හැකි පුරාණ සීමා අසවල් තැන නැතය කියා නො කිය හැකි ය. සීමා බන්ධනයකට බිමක් මේ රටෙන් තෝරා ගත් කල්හි එය සමහර විට එයට වඩා මහත් වූ පුරාණ සීමාවක් ඇතුළේ ම විය හැකි ය. සමහර විට පුරාණ කුඩා සීමාවක් සම්පූර්ණයෙන්ම එයට අසු වී තිබිය හැකි ය. සමහර විට පුරාණ සීමාවකින් කොටසක් එයට අසු වී තිබිය හැකි ය. සමහර විට ඒ බිම පුරාණ සීමාවක් හා ගැටී තිබිය හැකි ය.

ඉදින් සීමා සම්මුතියට තෝරාගත් බිම පුරාණ සීමාවක් ඇතුළේ ම වූවක් නම්, සීමාවක් තුළ තවත් සීමාවක් සම්මත කළ නො හෙන බැවින්, එය පුරාණ සීමාව ම මිස නව සීමාවක් නො වේ. එසේ සම්මත කර ගත් සීමාව තුළ කර්ම කරන අවස්ථාවේ දී පුරාණ සීමාවට අයත් ප්‍රදේශයෙහි අන් භික්ෂුවක් වී නම් ඒ කර්ම, වර්ග කර්ම කිරීමෙන් සිද්ධියට නො පැමිණේ. ඉදින් එහි විනය කර්මයක් කරන අවස්ථාවෙහි පුරාණ සීමා භූමිය තුළ අන් භික්ෂුවක් නො වී නම්, ඒ කර්මය සිද්ධියට පැමිණේ.

“න භික්ඛවෙ! සීමාව සීමා අජ්ඣොත්ථරිතබ්බා. යො අජ්ඣොත්ථරෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි විනයෙහි වදාරා ඇති බැවින් සම්පූර්ණ පුරාණ සීමාවක් හෝ පුරාණ සීමාවකින් කොටසක් හෝ හසු කොට නව සීමාවක් සම්මත නො කළ යුතු ය. එසේ කළහොත් “යෙසං භික්ඛවෙ! සීමා පච්ඡා සම්මතා, තෙසං තං කම්මං අධම්මිකං කුප්පං අට්ඨානාරහං” යන බුද්ධාඥාව පරිදි ඒ සීමාව සීමාවක් නො වේ.

“න භික්ඛවෙ! සීමාය සීමා සම්භින්දිතබ්බො, යො සම්භින්දෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු වදාළ බැවින් පුරාණ සීමා භූමියක් හා මිශ්‍ර කොට පුරාණ සීමා භූමියක් හා ගටා නව සීමාවක් සම්මත නො කළ යුතු ය. එසේ සම්මත කළහොත් එයද අසීමාවෙකි.

පුරාණ සීමා භූමි අසුවීමෙන් අලුතෙන් බඳනා සීමා අසීමා විය හැකි බැවින් නව සීමා බන්ධනය කිරීමේදී විනයධරයෝ පළමු කොට භූමිය ශුද්ධ කෙරෙති. භූමි ශුද්ධිය කළ යුත්තේ කර්ම වාක්‍යයෙන් සීමා සමූහනනය කිරීමෙනි. මායිම් සලකුණු ඇති, මායිම් දන්නා සීමාවක් සමූහනනය කිරීම අපහසු කාර්යයක් නො වේ. සතර නමකට නො අඩු භික්ෂු පිරිසක් ඒ සීමා භූමියට පිවිස සමූහනන කර්ම වාක්‍යය කී කල්හි සීමා සමූහනනය සිදු වේ. මේ කාලයේ නව සීමාවක් බන්ධනය කිරීමේදී කරන්නට සිදුවන්නේ මායිම් ලකුණු නැති, නො දන්නා සීමාවන් සමූහනනය කිරීමකි. එය පහසු කාර්යයක් නොවේ. එබැවින් නව සීමා බන්ධනයක් සඳහා නිසැක ලෙස බිමක් සුද්ධ කර ගැනීමට කාලය බොහෝ ගත වේ.

දිග පුළුලින් තුන් යොදුන දක්වා මහත් වූ සීමා ද ඇත්තේ ය. කුඩා සීමා ද ඇත්තේ ය. ගම් බොහෝ ගණනක් අසු වී ඇති මායිම් නො දන්නා මහා සීමාවක් සමූහනනය අති දුෂ්කරය. එක් තැනක භික්ෂූන් රැස්ව සීමා සමූහනනය කරන කල්හි ඒ මහා සීමාව තුළ අන් තැන්වල භික්ෂූන් සිටිය හැකි බැවිනි. සීමාවක් සමූහනනය කරන කල්හි අත් පසට නො පැමිණ ඒ සීමාව තුළ කොතැනක හෝ භික්ෂුවක් වුවහොත් ඒ සමූහනන කර්මය වර්ග කර්මයක් වීමෙන් සීමා සමූහනනය සිදු නො වේ. එබැවින් දැනට සීමා බන්ධනය කරන තැන්වලට පුරාණ මහා සීමා අසුවුවහොත් ඒ සීමා සියල්ලම අසීමා වේ. මෙයට සැනසිල්ලට ඇත්තාවූ එකම කාරණය නම්, මහා සීමා සුලභ නො වීම ය. බොහෝ සෙයින් රටේ දක්නා ලැබෙන සීමා දිගු පුළුලින් රියන් සියයටත් අඩු ඒවා ය.

අනුරාධපුරයේ මහා සීමාව හැර මේ රටේ අන් තැනක මහා සීමාවක් බඳනා ලද බව අසන්නට ද නැත. භික්ෂූන් විසින් බොහෝ සෙයින් අතීතයේ බැඳ තිබෙන්නේ ද මෙකල බඳින්නේ ද කුඩා සීමා ය. ඒ නිසා රටේ ඒ ඒ තැන්වල තිබිය යුත්තේ ද කුඩා කුඩා සීමා භූමි ය. බඹ විස්සක තිහක මානයේ ඉන්නා භික්ෂූන් එක් වී සමූහනනය කළ කල්හි ඒ සීමා සමූහනනය සිදු විය හැකි ය. මේ පොළොවෙහි පුරාණ සීමා භූමිවලට අසුවන තැන්වලට වඩා ඇත්තේ සීමාවලට නො හසු වන තැන් ය. එබැවින් නව සීමාවක් බන්ධනය කරන භූමියක් පුරාණ සීමා භූමියකට හසුවීම සිදුවන්නේ ද කලාතුරකිනි. එබැවින් විශාල ප්‍රදේශයක් භික්ෂූන්ගෙන් සිස් නො කොට සමූහනන කර්මය කොට, බිම ශුද්ධ කරගෙන දැනට බන්ධනය කරන සීමා ගැන, සැක කළ යුත්තක් ද නැත.