භේදානුවර්තක ශික්ෂාපදය.

“තස්සෙව ඛො පන භික්ඛුස්ස භික්ඛු හොන්ති අනුවත්තකා වග්ගවාදකා එකො වා ද්වේ වා තයො වා. තෙ එවං වදෙය්‍යුං, “මා ආයස්මන්තෙ එතං භික්ඛුං කිඤ්චි අවචුත්ථ, ධම්මවාදී චෙසො භික්ඛු විනයවාදී චෙසො භික්ඛු, අම්හාකඤ්චෙසො භික්ඛු ඡන්දං ච රුචිං ච ආදාය වොහරති, ජානාති, නො භාසති, අම්හාකං පෙතං ඛමතී”ති තෙ භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයා, “මා ආයස්මන්තො එවං අවවුත්ථ, න චෙසො භික්ඛු ධම්මවාදී න චෙසො භික්ඛු විනයවාදී, මා ආයස්මන්තානම්පි සංඝභෙදො රුච්චිත්ථ, සමෙතායස්මන්තො සංඝෙන, සමග්ගො හි සංඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී” ති එවං ච තෙ භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍යුං, තෙ භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බා තස්ස පටින්සග්ගාය, යාව තතියං චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්‍යුං ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජෙය්‍යුං සංඝාදිසෙසො.”[1]

ඒ සංඝභේදය කිරීමට උත්සාහ කරන භික්ෂුවට අනුව පිළිපදින්නා වූ අසමගියට පක්ෂ කථා කරන්නා වූ එක් නමක් වූ හෝ දෙනමක් වූ හෝ තෙනමක් වූ හෝ භික්ෂූහු වෙත් ද ඒ භික්ෂූහු “ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට කිසිවක් නො කියව්. ඒ භික්ෂු තෙමේ ධර්මවාදියෙකි, විනයවාදියෙකි, ඔහු අපගේ ද කැමැත්ත හා සතුට ද ගෙන කථා කරයි, අපගේ කැමැත්ත දනී, මෙසේ කරමු යි අප හා කථා කරයි, අපට ද ඔහු කරන දෙය රුචිය, මෙසේ කියත් නම් ඒ භේදානුවත්තක භික්ෂූහු අන්‍ය භික්ෂූන් විසින් “ඇවැත්නි, මෙසේ නො කියව්, ඒ මහණ ධර්මවාදී නොවේ. විනයවාදී නොවේ. ආයුෂ්මත් හට ද සංඝභේදය රුචි නො වේවා. ආයුෂ්මත්හුගේ සිත් සංඝයා හා සමවේවා. සමගි වූ සංඝ තෙමේ සතුටු වූයේ විවාද නැත්තේ සමාන පාමොක් උදෙසීම් ඇත්තෙ සුවසේ වෙසේය”යි කිය යුත්තාහ. ඒ භික්ෂූහු භික්ෂූන් විසින් මෙසේ කියනු ලබන්නාහු එසේ ම තමාගේ මතය ගෙන සිටිත් නම් ඒ භික්ෂූහු භික්ෂූන් විසින් තුන්වර දක්වා සමනුභාෂණය කළ යුත්තෝ ය. තුන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නාහු ඒ භේදානුවත්තකභාවය අත්හරින්නාහු එය යහපති, ඉදින් අත නො හරින්නාහු නම් සංඝාදිසේසාපත්ති වේ.

මෙහි භික්ෂූන් එක්නමක් දෙනමක් තුන්නමක් ගෙන ඇත්තේ සතරනමක් වුවහොත් සංඝයා වන නිසා සමනුභාෂණකර්මය නො කළ හැකි බැවිනි. සංඝාදිසේසාපත්තිය වන්නේ සංඝයා විසින් සමනුභාෂණ විනය කර්මය කළ හොත්ය.

  1. පාරා - 215 පි.