පාපදෘෂ්ටි ගැනීම පිළිබඳ ශික්ෂාපද

තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවෙසෙන සමයයෙහි අරිට්ඨ නමැති භික්ෂුවකට එක්තරා පාපදෘෂ්ටියක් ඇතිවිය. එනම් මේ ගිහියෝ කාමයන් සේවනය කෙරෙමින් ම සෝතාපන්නයෝ ද සකෘදාගාමිහු ද වෙති, අනාගාමීහු ද වෙති, භික්ෂූහු ද මනාප රූපයන් දකිමින් ම මනාප ශබ්දයන් අසමින් ම මනාප ගන්ධයන් ආඝ්‍රාණය කරමින් ම මනාප රසයන් ආස්වාදනය කරමින් ම මනාප ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් ස්පර්ශ කරමින් ම සෝවාන් වෙති. සකෘදාගාමී වෙති. අනාගාමි වෙති. රහත් වෙති. “සුවපහස් ඇති කොට්ට මෙට්ට ඇතිරිලි ආදිය කැප නම් ස්ත්‍රී ස්පර්ශය අකැප වන්නට කරුණක් නැත, එයත් කැපවිය යුතුය යනු අරිට්ඨ භික්ෂූන්ට ඇති වූ පාපදෘෂ්ටිය ය. ඔහු තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන්ට සුවපහස් ඇති කොට්ට මෙට්ට ඇතිරිලි ආදිය අනුදැනීම ස්ත්‍රී ස්පර්ශය ද කැප බව දක්වන බුද්ධදේශනාවක් සේ සැලකීය. ඔහු ඒ ලාමකදෘෂ්ටිය භික්ෂූන්ට කියන්නට විය. භික්ෂූන් නොයෙක් ආකාරයෙන් ඒ පාපදෘෂ්ටිය හරනා පරිදි ඔහුට අනුශාසනා කළ මුත් අරිට්ඨ තමා ගත් දෘෂ්ටිය නො හළේය. භික්ෂූන් ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි මේ සිකපදය පනවා වදාළහ.

“යො පන භික්ඛු එවං වදෙය්‍ය, තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායාති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො, මා ආයස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, නහි සාධු භගවතො අබ්භක්ඛානං, නහි භගවා එවං වදෙය්‍ය, අනෙකපරියායෙන ආවුසො අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලං ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. එවඤ්ච පන සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍ය, සො භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බො, තස්ස පටිනිස්සග්ගාය, යාවතතියං චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්‍ය, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්‍ය පාචිත්තියං.”[1]

යම් මහණෙක් ස්වර්ගමෝක්ෂ ධ්‍යාන මාර්ගඵලයන්ට අන්තරායිකය යි, යම් ධර්ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද සේවනය කරන්නහුට ස්වර්ගමෝක්ෂධ්‍යානමාර්ගඵලයන්ට අන්තරාය කිරිමට ඒ ධර්මයෝ නො සමත් වෙතිය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනය කරන ලද ධර්මයක් මම දනිමියි කියා නම් ඒ භික්ෂුතෙම භික්ෂූන් විසින් මෙසේ කිය යුතු වන්නේය. ඇවැත එසේ නො කියව. භාග්‍යවතුන් වහන්සේට නින්දා නො කරව. භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ එසේ නො කියන්නාහ, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අන්තරායික ධර්මයෝ අන්තරායකරය යි අනේකාකාරයෙන් වදාරන ලද්දාහු ය, සේවනය කරන්නාහට අන්තරාය කිරීමට ඒ ධර්මයෝ සමර්ථය යි කිය යුතුය. භික්ෂූන් විසින් මෙසේ කියන ලද කල්හි ද ඒ භික්ෂුව එසේ ම ඔහුගේ අදහස ගෙන සිටී නම් ඒ මහණ භික්ෂූන් විසින් ඒ දෘෂ්ටිය අත හැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුතුය. තුන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නේ ඒ දෘෂ්ටිය හරී නම් එය යහපති. ඉදින් නො හරනේ නම් පචිති වේ.

සනුභාෂණකර්මය පාචිත්තිය පාළියෙන් දත හැකි වනු ඇත. කර්ම ක්ලේශ විපාක උපවාද ආඥා ව්‍යතික්‍ර‍මණ වශයෙන් ස්වර්ගමෝක්ෂධ්‍යානමාර්ගඵලයන්ට අන්තරායකර ධර්ම පසක් ඇත්තේ ය. කර්ම නම් ආනන්තර්යකර්ම පසය. එයින් යම්කිසිවක් කළ පුද්ගලයාට දෙවන ජාතියේ සුගතියට යාමට ද වර්තමාන භවයේදී ධ්‍යානමාර්ගඵල ලැබීමට ද නුපුළුවන. එය අන්තරායික ධර්මයෙකි. භික්ෂුණී දූෂණය ද අන්තරායික කර්මයෙකි. ක්ලේශ යනු නියත මිථ්‍යාදෘෂ්ටිය ය. එනම් නාස්තික අහේතුක අක්‍රිය යන දෘෂ්ටි තුනය. විපාක යනු අහේතුක ප්‍ර‍තිසන්ධිචිත්තය ය. එයින් ප්‍ර‍තිසන්ධි ලබන්නෝ පණ්ඩක නපුංසකාදීන් හා ආපායික සත්ත්වයෝ ය. ඔවුනට ඒ ආත්මයේදී ධ්‍යානමාර්ගඵල නො ලැබිය හැකිය. උපවාද යනු ආර්යෝපවාදය ය. එනම් ආර්යපුද්ගලයන්ට නින්දා කිරීම් ආදි වරද කිරීමය. ආඥාව්‍යතික්‍ර‍මණය යනු බුදුරදුන්ගේ ආඥාව කඩ කිරීමය. එනම් ඇවැත්වලට පැමිණීමය. මෛථුන සේවනයෙන් වන පාරාජිකාපත්තිය ආඥාව්‍යතික්‍ර‍මණ අන්තරාය ය.

මෛථුන සේවනය බලවත් රාගයෙන් කරන ක්‍රියාවෙකි. රාගයෙන් තොරව කෙරෙන මෛථුන සේවනයෙක් නැත. එය කරන්නහුගේ සිත එයට හා ඒ පිළිබඳ කටයුතුවලට ඇදීයයි. ධ්‍යානභාවනාදියට නො යයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ එයට පාරාජිකාපත්තිය පැනවූහ. සුව පහසු ඇති කොට්ට මෙට්ට ඇතිරි ආදිය රාගයෙන් තොරව ද පරිභෝග කළ හැකිය. ඒවා පරිභෝග කිරීම ශ්‍ර‍මණ ප්‍ර‍තිපදාවට බාධාවක් නො වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඒවා පරිභෝග කිරීම අනුදැන වදාළ සේක. මෛථුන සේවනයේ හා සුඛස්පර්ශය ඇති කොට්ට මෙට්ට ආදිය පරිභොගයේ ඉමහත් වෙනසක් ඇත්තේය. භික්ෂුවක් එබඳු දෘෂ්ටියක් ප්‍ර‍කාශ කරන විට එය අසා ඔහුට අවවාද නො කරන්නා වූ භික්ෂූන්ට ද දුකුළා ඇවැත් වේ. එය නො පිළිගැනීමෙන් දෘෂ්ටිය ප්‍ර‍කාශ කරන භික්ෂුවට ද දුකුළා ඇවැත් වේ. සමනුභාෂණ කර්මයෙන් ද දෘෂ්ටිය නො හරනා භික්ෂුවට පචිති ඇවැත් වේ. සමනුභාෂණ කර්මයෙන් නො හික්මෙන භික්ෂුවට උක්ඛේපනීය කර්මය කරනු ලැබේ. එය විනයකර්මපොතෙන්[2] දත හැකි වනු ඇත.

“යො පන භික්ඛු ජානං තථාවාදිනා භික්ඛුනා අකටානුධම්මෙන තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධි සම්භුඤ්ජෙය්‍ය වා සංවසෙය්‍ය වා සහ වා සෙය්‍යං කප්පපෙය්‍ය පාචිත්තියං.”[3]

යම් මහණෙක්, එසේ කියන, උක්ඛේපනීය කර්මය සංඝයා විසින් ඉවත් නො කළ ඒ පාපදෘෂ්ටිය නො හළ භික්ෂුව හා සම්භෝග හෝ කෙරේ ද විනයකර්ම හෝ කෙරේ ද එක් පියැස්සක් යට හොවී ද ඒ භික්ෂුවට පචිති ඇවැත් වේ.

සම්භෝගය වනාහි ආමිෂසම්භෝග ධර්මසම්භෝග වශයෙන් දෙකක් වේ. යමකුට තමා සතු ආහාරාදි වස්තුවක් දීම හා අනුන් දෙන වස්තුවක් ගැනීම ආමිෂ සම්භෝගය ය. ධර්මය කියවීම හා කියවා ගැනීම ධර්මසම්භෝගය ය. උක්ඛිත්තක භික්ෂුව හා එයින් කවරක් හෝ කළ හොත් පචිති වේ. ඔහු හා උපෝසථපවාරණාදි විනය කර්මයක් කළ හොත් පචිති වේ. එක් පියැස්සක් යට උක්ඛිත්තකයා ශයනය කළ කල්හි භික්ෂුව ශයනය කළ ද භික්ෂුව ශයනය කළ පසු උක්ඛිත්තකයා ශයනය කළ ද දෙදෙන එකවර ශයනය කළ ද භික්ෂුවට පචිති වේ.

“සමනුද්දෙසො පි චෙ එවං වදෙය්‍ය තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. සො සමණුද්දෙසො භික්ඛූහි එව මස්ස වචනීයො, මා ආවුසො සමනුද්දෙස එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, නහි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය, අනෙකපරියායෙන ආවුසො සමණුද්දෙස අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. එවඤ්ච සො සමණුද්දෙසො භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍ය, සො සමණුද්දෙසො භික්ඛූහි එවමස්ස වචනීයො අජ්ජතග්ගෙ තෙ ආවුසො සමණුද්දෙස නචෙව සො භගවා සත්ථා අපදිසිතබ්බො, යම්පි චඤ්ඤෙ සමනුද්දෙසා ලභන්ති භික්ඛූහි සද්ධිං ද්විරත්තතිරත්තං සහසෙය්‍යං, සාපි තෙ නත්ථි, චර පරෙ විනස්සාති. යො පන භික්ඛු ජානං තථා නාසිතං සමණුද්දෙසං උපලාපෙය්‍ය වා උපට්ඨාපෙය්‍ය වා සම්භුඤජෙය්‍ය වා සහ වා සෙය්‍යං කප්පෙය්‍ය පාචිත්තියං.”[4]

භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මෛථුන ධර්මකෙනෙක් ස්වර්ගමෝක්ෂධ්‍යාන මාර්ගඵලයන්ට අන්තරායකරය යි වදාරන ලද ද සේවනය කරන්හුට ඒ ධර්මයෝ අන්තරාය පිණිස සමත් නො වෙතියි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් මම දනිමියි සාමණේරයෙක් කියන්නේ නම් ඒ සාමණේර තෙමේ භික්ෂූන් විසින් මෙසේ කිය යුත්තේය. ඇවැත සාමණේරය, මෙසේ නො කියව, භාග්‍යවතුන් වහන්සේට නින්දා නො කරව, භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නො මැනවි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ, ඇවැත සාමණේරය, භාග්‍යවතුන්වහන්සේ විසින් අන්තරායික ධර්මයෝ අනේකාකාරයෙන් අන්තරායිකයහ යි වදාරන ලද්දාහුය, සේවනය කරන්නා හට ඒ ධර්මයෝ අන්තරාය පිණිස සමර්ථයහ. ඒ සාමණේරතෙමේ මෙසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ද එසේ ම පාපදෘෂ්ටිය ගෙන සිටින්නේ නම් ඒ සාමණේර තෙමේ මෙසේ කිය යුතු වන්නේය. ඇවත සාමණේරය, අද පටන් තා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ ය යි නො කිය යුත්තෝය, අන්‍ය සාමණේරයෝ භික්ෂූන් වහා දෙතුන් රැයක් යම් සහසෙය්‍යාවක් ලබත් ද එය ද මින්පසු තට නැත්තේය, මමත්වයක් නැති සාමණේරය, සංඝාරාමයෙන් යව, නැසෙව. යම් මහණෙක් එසේ නසන ලද සාමණේරයකුට නසන ලද්දකු බව දැන සංග්‍ර‍හ හෝ කෙරේ ද එවැන්නකු ලවා උපස්ථාන හෝ කරවා ගනී ද එවැන්නකු හා සම්භෝග හෝ කෙරේ ද එක් පියැස්සක් යට ශයනය හෝ කෙරේ ද ඒ භික්ෂුවට පචිති වේ.

සංවාසනාසනා ලිංගනාසනා දණ්ඩකම්මනාසනා යි විනයෙහි නැසීම් තුනක් ඇත්තේ ය. ඇවැත් නො පිළිගැනීම් ආදිය නිසා උක්ඛේපනීය කර්මය කිරීම සංවාසනාසනාවය. සුදුවත් හඳවා පිටත් කිරීම ලිංගනාසනාවය. දඬුවම් වශයෙන් සඟරමින් බැහැර වන ලෙස කීම දන්ඩකම්මනාසනාවය. පාපදෘෂ්ටි ගත් හෙරණුන්ට කරන්නේ දණ්ඩකම්මනාසනාව ය.

  1. පාචි - 153 පි.

  2. විනය - 250 පි. (5 මුද්‍ර‍ණය - 199 පි.)

  3. පාචි - 155 පි.

  4. පාචි - 158 පි.