සංඝයා භේදකිරීම.

“යො පන භික්ඛු සමග්ගස්ස සංඝස්ස භෙදාය පරක්කමෙය්‍ය භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ තිට්ඨෙය්‍ය, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො, “මා ආයස්මා සමග්ගස්ස සංඝස්ස භෙදාය පරක්කමි, භෙදනසංවත්තනිකං වා සමාදාය පග්ගය්හ අට්ඨාසි, සමෙතායස්මා සංඝෙන, සමග්ගොහි සංඝො සම්මොදමානො අවිවදමානෙ එකද්දෙසො ඵාසු විහරතී” ති එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍ය, සො භික්ඛු භික්ඛූහි යාවතතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය. යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්‍ය ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජෙය්‍ය සංඝාදිසෙසො”[1]

යම් මහණෙක් සමගි සංඝයාගේ භේදය පිණිස උත්සාහ කෙරේද, භේදයට හේතු වන අධිකරණයක් හෝ ගෙන ඔසවා සිටීද, ඒ මහණ භික්ෂූන් විසින් මෙසේ කිය යුතු වන්නේ ය. ආයුෂ්මතා සමගි සංඝයාගේ භේදය පිණිස උත්සාහ නො කරව, භේදය පිණිස පවතින අධිකරණයක් ගෙන ඔසවා නො සිටුව, ආයුෂ්මතා සංඝයා හා සමාන අදහස් ඇත්තේ වේවා. සමගි වූ සංඝතෙමේ සතුටු වන්නේ වාද නො කරන්නේ එක්ව පාමොක් උදෙසීම ඇත්තේ සුවසේ වෙසේය කියා ය. ඒ මහණ මෙසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ද භේදය පිණිස පවතින අධිකරණය එසේ ම ගෙන සිටින්නේ නම් ඒ මහණ අන්‍ය භික්ෂූන් විසින් ඒ උත්සාහය හා ඒ අධිකරණය අත හැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුත්තේය. තුන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නේ එය අත්හරී නම් යහපති. ඉදින් අත් නො හරී නම් සංඝාදිසේසාපත්ති වේ.

සංඝභේදයට තැත් කරන භික්ෂුව දක්නා භික්ෂූන් විසින් ද ඒ කරුණ ඇසූ භික්ෂූන් විසින් ද භේදක භික්ෂුවට එය අත්හරින ලෙස තුන්වර දක්වා කිය යුතුය. කී කල්හි එය නො හළේ නම් දුකුළා ඇවැත් වේ. ඇසූ දුටු භික්ෂූහු නො කියත් නම් ඔවුනට ද දුකුළා ඇවැත් වේ. සංඝභේදයට තැත් කරන භික්ෂුව සඟමැදට පමුණුවා ද තුන්වර දක්වා කිය යුතු ය. එයින් ද නො හළේ නම් දුකුළා ඇවැත් වේ. එසේ කීමෙන් ද භේද කිරීමේ උත්සාහය නො හරනා භික්ෂුවට සමනුභාෂණකර්මය කළ යුතුය. නො හළේ නම් කර්මාවසානයෙහි සංඝාදිසේසාපත්ති වේ.

සංඝභේදය කෙළේ නම් උපසම්පදාවෙන් පහ වූ පිළියමක් නැති ඒකාන්තයෙන් නරකයට යන පුද්ගලයෙක් වේ.

  1. පාරා - 213 පි.