මෙණ්ඩක සිකපදය.

දිනක් මෙණ්ඩක සිටුතුමා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආහාරපාන දුර්ලභ වූ මාර්ගෝපකරණ නො ගෙන යා නො හෙන කාන්තාරමාර්ග ඇත්තේ ය. එවැනි මාර්ගයන්හි ගමන් කරන්නා වූ භික්ෂූන්ට මඟවියදම ගෙන යාමට අනුදැන වදාළ මැනව”යි සැල කෙළේ ය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එක් ධර්මදේශනා සමයකදී භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

“සන්ති භික්ඛවෙ, මග්ගා කන්තාරා අප්පොදකා අප්පභක්ඛා න සුකරා අපාථෙය්‍යෙන ගන්තුං අනුජානාමි භික්ඛවෙ, පාථෙය්‍යං පරියෙසිතුං.”

තණ්ඩුලො තණ්ඩුලත්ථිකෙන මුග්ගො මුග්ගත්ථිකෙන මාසො මාසත්ථිකෙන ලොණං ලොණත්ථිකෙන ගුළො ගුළත්ථිකෙන තෙලං තෙලත්ථිකෙන සප්පි සප්පිත්ථිකෙන.

සන්ති භික්ඛවෙ, මනුස්සා සද්ධා පසන්නා තෙ කප්පියකාරකානං හත්ථෙ හිරඤ්ඤං උපනික්ඛිපන්ති ඉමිනායං අය්‍යස්ස කප්පියං තං දෙථාති. අනුජානාමි භික්ඛවෙ, යං තථො කප්පියං තං සාදියිතුං නත්වෙවාහං භික්ඛවෙ, කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදියිතබ්බං පරියෙසිතබ්බන්ති වදාමි.”[1]

තේරුම:

මහණෙනි, ආහාරපාන දුර්ලභ වූ මාර්ගෝපකරණ නො ගෙන යාම පහසු නො වූ කාන්තාරමාර්ගයෝ ඇත්තාහ. මහණෙනි, මාර්ගෝපකරණ සෙවීමට අනුදනිමි. සහල් වුවමනා භික්ෂුවට සහල් ද, මුං වුවමනා භික්ෂුවට මුං ද, මෑ වුවමනා භික්ෂුවට මෑ ද, ලුණු වුවමනා භික්ෂුවට ලුණු ද, සකුරු වුවමනා භික්ෂුවට සකුරු ද, තෙල් වුවමනා භික්ෂුවට තෙල් ද, ගිතෙල් වුවමනා භික්ෂුවට ගිතෙල් ද සෙවීමට අනුදනිමි.

මහණෙනි, සැදැහැවත් තෙරුවන්හි පහන් මිනිස්සු ඇතහ. ඔවුහු මෙයින් ආර්‍ය්‍යයන් වහන්සේට යමක් කැප නම් එය දෙත්වා යි කැප කරුවන් අත මුදල් තබන්නාහ. මහණෙනි එයින් යමක් කැප නම් එය පිළිගැනීමට ද අනුදනිමි. මහණෙනි, මම කිසි ආකාරයකින් ජාතරූපරජතය (මුදල්) ඉවසිය යුතුය සෙවිය යුතු ය යි නො කියමි.

  1. මහා - 610 පි.