සංඝයාට ලැබෙන භාණ්ඩ ගරු භාණ්ඩ - ලඝු භාණ්ඩ වශයෙන් දෙකොටසකි. භික්ෂූන්ට නිතර ම ඒවා පරිභෝග කරන්නට පාලනය කරන්නට සිදුවන බැවින් ගරු - ලඝු භාණ්ඩ පිළිබඳ විනය හොඳින් දැන සිටිය යුතු ය. එසේ නො වුව හොත් ඒවායින් නිතර වරදට පැමිණිය හැකිය. ගරුභාණ්ඩවලට “අවිස්සජ්ජියභාණ්ඩ - අවෙභංගියභාණ්ඩ” යන නම් ද කියනු ලැබේ. සේනාසනඛන්ධකයෙහි ගරුභාණ්ඩ විභාගය වදාරා ඇත්තේ අවිස්සජ්ජියභාණ්ඩ අවෙභංගියභාණ්ඩ යන නම් වලිනි. ඒ මෙසේය:-
“පඤ්චිමානි භික්ඛවෙ, අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතානි පි අවිස්සජ්ජිතානි හොන්ති, යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”[1]
මහණෙනි, මේ භාණ්ඩ පස සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු ය. දුන්නේ ද ගත්තහුට අයිති නො වේ. ඒ භාණ්ඩ යමෙක් අනිකෙකුට දුන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.
“කතමානි පඤ්ච? ආරාමො ආරාමවත්ථු ඉදං පඨමං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං, සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”
කවර පසෙක් ද යත්? ආරාමය, ආරාමවස්තුවය යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු පළමුවන වස්තුව ය. එය දුන්නේ ද ගත්තහුට අහිමි වේ. යමෙක් දුන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.
“විහාරො විහාරවත්ථු ඉදං දුතියං අවිස්සජ්ජියං. න විස්සජ්ජෙතබ්බං, සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”1
විහාරය, විහාරවස්තුවය යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු දෙවන වස්තුව ය. එය දුන්නේ ද ගත්තහුට අහිමි වේ. යමෙක් දුන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.
“මඤ්චො පීඨං භිසි බිම්බොහනං ඉදං තතියං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”1
ඇඳ පුටු ගුදිරි කොට්ට යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නොදිය යුතු තුන්වන වස්තුව ය. දුන්නේ ද ගත්තහුට අහිමි ය. යමෙක් දෙන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.
“ලොහකුම්භි ලොහභාණකං ලොහවාරකො ලොහ කටාහං වාසි ඵරසු කුඨාරි කුද්දාලො නිඛාදනං ඉදං චතුත්ථං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං, සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”[2]
ලොහොසැළි ලොහොකටාරම් ලොහොසැළ ලොහො කළ වෑ පොරෝ කෙටේරි උදලු සාරන උපකරණ යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු සතර වන වස්තුව ය. දුන්නේ ද ගත්තහුට අහිමි වේ. යමෙක් දෙන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.
“වල්ලි වෙළු මුඤ්ජං බබ්බජං තිණං මත්තිකං දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං ඉදං පඤ්චමං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං, සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති, යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”[3]
වැල්, හුණ, මුඤ්ජ නම් තණ, බබ්බජ නම් තණ, ගෙවල් සෙවෙනි කරන අන් තණ, මැටි, ලීබඩු, මැටි බඩු යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු ය. දුන ද ගත්තහුට අහිමි ය. යමෙක් දෙන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.
භාග්‍යවතුන් වහන්සේ විසින් ගරුභාණ්ඩ වදාරා ඇත්තේ රාශි වශයෙන් පසකට බෙදීමෙනි. ආරාම ආරාමවත්ථු යන දෙක පළමුවන රාශිය ය. විහාර විහාරවත්ථු යන දෙක දෙවන රාශිය ය. මඤ්ච පීඨ භිසි බිම්බෝහන යන සතර තුන්වන රාශිය ය. ලෝහකුම්භි ලෝහභාණක ලෝහවාරක ලෝහකටාහ වාසි ඵරසු කුඨාරි කුද්දාල නිඛාදන යන නවය සතරවන රාශිය ය. වල්ලි වෙළු මුඤ්ජ බබ්බජ තිණ මත්තිකා දාරුභණ්ඩ මත්තිකාභණ්ඩ යන අට පස්වන රාශිය ය. සියල්ල පිඩු කළ කල්හි ගරුභාණ්ඩ පස්විස්සකි.
“ද්විසංගහානි ද්වෙ හොන්ති - තතියං චතුසංගහං,
චතුත්ථං නව කොට්ඨාසං - පඤ්චමං අට්ඨභෙදනං.
-
ඉති පඤ්චහි රාසීහි - පඤ්ච නිම්මලලොචනො,
පඤ්චවීසවිධං නාථො - ගරුභණ්ඩං පකාසයි.”[4]
විනය පාළියෙහි නම් වශයෙන් දක්වා ඇත්තේ අතීත කාලයේ මිනිසුන් පරිභෝග කළ භාණ්ඩයන් ය. ඒවාට සමාන මෙකල ඇති භාණ්ඩයෝ ද ගරුභාණ්ඩයන්ට අයත් වෙති. යම්කිසි පූජාවකදී බොහෝ ගරුභාණ්ඩ ලද ද ඒවා පෞද්ගලික වන පරිදි නො බෙදිය යුතු ය. බෙදුව ද ඒවා ලද අයට අයිති නො වේ. නො බෙදිය යුතු බැවින් ගරුභාණ්ඩ අවේභංගිය නම් වේ. විහාරයකදී දායකයන් විසින් “සංඝස්ස දෙම” කියා ගරුභාණ්ඩ පූජා කළ හොත් ඒවා සංඝයාගේ ප්‍රයෝජනය පිණිස ඒ විහාරයේ ම තැබිය යුතු ය. ඒ විහාරයට සෑහෙන්නට බඩු ඇත්තේ නම් එම බඩු ඒ විහාරයට වුවමනා නැති නම් සංඝික වශයෙන් පරිභෝජනය කිරීම සඳහා අන් විහාරවලට දිය යුතුය. ඒ ඒ අයට පෞද්ගලික වශයෙන් නො දිය යුතුය. විහාරයෙන් පිටත ගෙයක කරන පින්කමකදී සංඝස්ස දෙම කියා ඇඳක් පූජා කළ හොත් එය සංඝස්ථවිරයන් වාසය කරන ස්ථානයට දිය යුතු බව විනය අටුවාවෙහි කියා ඇත. එහි බොහෝ ඇඳ පුටු ඇත්තේ නම් එතැනට ඇඳකින් ප්‍රයෝජනයක් නැති නම් ඇඳක් වුවමනා විහාරයකට සංඝික වශයෙන් පරිභෝග කිරීම සඳහා දිය යුතු බව කියා ඇත. මෙසේ විහාරයේන පිටත දී ලැබෙන අන්‍ය ගරුභාණ්ඩ සම්බන්ධයෙන් පිළිපැදිය යුත්තේ ද ඒ කීම අනුව ය.
“බහිසීමාය සංඝස්ස දෙමාති දින්නමඤ්චො සංඝත්ථෙරස්ස වසනට්ඨානෙ දාතබ්බො. සචෙ තත්ථ බහුමඤ්චා හොන්ති මඤ්චෙන කම්මං නත්ථි යස්ස විසනට්ඨානෙ කම්මං අත්ථි, තත්ථ සංඝපරිභොගෙන පරිභුඤ්ජථාති දාතබ්බො.”[5]
දැන් බොහෝ තැන්වල පෙනෙන්නේ ලැබෙන සියල්ල ගමේ පන්සලට දීම ය. එය සුදුසු ද? නැත ද? යනු විමසිය යුතු ය.
ආරාම ආරාමවත්ථු යන මෙහි ආරාමය යනු වැවිල්ලක් ඇති බිම ය. ආරාමවත්ථු යනු වැවිල්ලක් නැති බිම ය. විහාර විහාරවත්ථු යන මෙහි විහාර යනු වාසය කරන ගොඩනැගිලි ය. විහාරවත්ථු යනු ඒවා පිහිටි බිම් ය. ආරාමාදි ගරුභාණ්ඩ නො දිය හැකි වුව ද එබඳු ගරුභාණ්ඩයක් ගරුභාණ්ඩයකට මාරු කළ හැකි ය. සංඝයා වෙසෙන විහාරයට දුර පිහිටි වත්තක්, සමීපයේ පිහිටි වත්තකට මාරු කර ගත හැකි ය. ගෙයක් වුව ද ගෙයකට මාරු කර ගත හැකි ය. ඇඳ පුටු ආදි ගරු භාණ්ඩවලට වෙනත් ගරුභාණ්ඩ මාරු කර ගත හැකි ය. එක් වටිනා ඇඳක් ඇඳන් කීපයකට මාරු කිරීම ද වරද නැත. සංඝයාට අලාභ වන පරිදි මාරු නො කළ යුතු ය. සංඝයාට ප්‍රයෝජන නැති ගරුභාණ්ඩ මුදල් කර ප්‍රයෝජනවත් භාණ්ඩ ගැනීම ද වරද නැත. එය කැපකරුවකු මඟින් කළ යුතු ය. ගරුභාණ්ඩ දී ආහාර වස්ත්‍රාදිය නො ගත යුතු ය.
සඟසතු හුණ දඬු ලී ආදිය චෛත්‍යකර්මාන්තයට සංඝික විහාරවල වැඩට යොදා ඉතිරි වන ඒවා පෞද්ගලික වැඩට යෙදවීම ද වරද නැත. ඒවා ගෙය ගිනිගත් කෙනකු ගෙන යනවා නම් නො වැළැක්විය යුතු බව ද කියා ඇත. සංඝයාට අයත් එක් වියත් සතරඟුලක් පමණ දික් හුණ දඬු කැබෙල්ලක් වුවත් ලී කැබෙල්ලක් වුවත් විනයේ සැටියට ගරුභාණ්ඩයෙකි. සඟ සතු භූමිවල වැවී ඇති ගස් වැල් ද ගරු භාණ්ඩය. ඒ ගරුභාණ්ඩ අනිකකුට දීමේ අයිතියක් භික්ෂූන්ට නැති බව ගිහියෝ නො දනිති. විහාරාධිපති ස්ථවිර නමකට විහාරයේ ඇති ඕනෑම දෙයක් දීමට බලය ඇතැයි ගිහියෝ සිතති. එබැවින් ඇතැම් ගිහියෝ හුණගස් පුවක්ගත් තැන තැන ඇති ලී දඬු හා ඇතැම් භාණ්ඩ භික්ෂූන්ගෙන් ඉල්ලති. මෙය ලොකු ප්‍රශ්නයෙකි. ඉල්ලන සුළු දෙයක් නුදුන හොත් ඔවුහු කලකිරෙති. විරුද්ධ වෙති. සමහරවිට විරුද්ධකම් කරන්නටත් පටන් ගනිති. “මේ හාමුදුරුවෝ අනුන්ට බණ කියනවා මිස, අහක දමන දෙයක්වත් කෙනකුට නො දෙති” යි විනය නො දත් ගිහියෝ කලකිරෙති. මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. දුන හොත් භික්ෂුවට ඇවැත් වේ. නුදුනහොත් ගිහියන්ගෙන් කරදර පැමිණේ. මෙබඳු කරුණුවලදී ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කොට දෙපසින් ම නිදහස ලබා ගන්නට දැන ගත යුතු ය. නුවණැති ගිහියා සඟසතු දේ ගැනීමට නුසුදුසු බව කියා සතුටු කරවිය හැකිය. මෝඩ ගිහියා එසේ සතුටු නො කළ හැකි ය. එබඳු අවස්ථාවලදී භික්ෂුවට ඇත්තේ නම් වළක්වන්නේ නැතිව ගෙන යන්නට හැර තුෂ්ණීම්භූත වීම ය. සඟසතු බඩු තබා පෞද්ගලික බඩු වුව ද සැමට ම දීම නුසුදුසු ය.