මත සන්තකය

star_outline

“භික්ඛුස්ස භික්ඛවෙ, කාලකතෙ සංඝො සාමි පත්තචීවරෙ. අපි ච ඛො ගිලානුපට්ඨාකා බහුකාරා, අනුජානාමි භික්ඛවෙ, සංඝෙන තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දාතුං. යං තත්ථ ලහුභණ්ඩං ලහුපරික්ඛාරං තං සම්මුඛීභූතෙන සංඝෙන භාජෙතුං. යං තත්ථ ගරුභණ්ඩං ගරුපරික්ඛාරං තං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සංඝස්ස අවිස්සජ්ජිකං අවෙභංගිකං.”[1]

“මහණෙනි, භික්ෂුවක් කලුරිය කළ කල්හි ඔහුගේ පාසිවුරු සංඝයාට අයිති ය එහෙත් ගිලානෝපස්ථායකයෝ බොහෝ උපකාර ඇත්තෝ ය. මහණෙනි, සංඝයා විසින් කලුරිය කළ මහණහුගේ පාසිවුරු ගිලානෝපස්ථායකයන්ට දෙන්නට අනුදනිමි. එහි යම් ලඝු භාණ්ඩයක් ලඝු පරිෂ්කාරයක් වේ නම් ඒවා සම්මුඛීභූත සංඝයා විසින් බෙදා ගත යුතුය. එහි යම් ගරුභාණ්ඩයක් ගරුපරිෂ්කාරයක් වේ නම් ඒවා ආගතානාගත චාතුද්දසික සංඝයාට අයිති විසර්ජනය නො කළ යුතු නො බෙදිය යුතු වස්තු ය.”

ඉහත දක්වන ලද්දේ කලුරිය කළ භික්ෂූන්ට අයත් චීවරාදි වස්තූන් පිළිබඳ විනය නීතිය ය. එයින් දැක්වෙන්නේ කාලක්‍රියා කළ භික්ෂුවකට අයත් චීවරාදි වස්තූන් සංඝයාට මිස නෑයන්ට හෝ ගෝලයන්ට හෝ අයිති නැති බව ය. සංඝයා විසින් පාසිවුරු ගිලානෝපස්ථායකයන්ට දිය යුතු ය. ගිලානෝපස්ථානය එකකු විසින් කරන ලද නම් සියල්ල ඔහුට දිය යුතුය. උපස්ථායකයෝ බොහෝ වෙත් නම් බෙදා දිය යුතු ය. වඩා උපස්ථාන කළ තැනැත්තාට වැඩි කොටස දිය යුතුය. කලුරිය කළ මහණහුගේ පාසිවුරු දහසක් අගනේ ද උපස්ථායකයන්ට ම දිය යුතුය. ඉදින් පාසිවුරු නැත්තේ නම් අන්‍ය පරිෂ්කාර ඇත්තේ නම් පාසිවුරු වෙනුවට ඒවා දිය යුතු ය. කලුරිය කළ භික්ෂුවගේ පාසිවුරු නො වටනා ඒවා නම් අන් පිරිකරත් සමග ඒවා උපස්ථායකයන්ට දිය යුතුය. උපස්ථාන කළ අය ගිහි වුව ද ස්ත්‍රීන් හෝ වුව ද ඔවුහු පිරිකර කොටස ලැබීමට සුදුස්සෝ ය. එක් වස්තුවක් දෙදෙනකුට අයත් කල්හි එක් භික්ෂුවක් කාලක්‍රියා කළ හොත් ඒ වස්තුව ජීවත්වන භික්ෂුවට අයත් වේ. බොහෝ දෙනකුන්ට අයත් වස්තුවක් හිමියන් බොහෝ දෙනකු කලුරිය කොට එක් භික්ෂුවක් ඉතිරි වුව ද ඒ වස්තුව ඉතිරි භික්ෂුවට අයත් වේ. අන්තිම භික්ෂුවගේ මරණයෙන් ඒ වස්තුව සංඝයාට හිමි වේ. උපස්ථායකයන්ට පාසිවුරු දීම ද කර්මවාක්‍යයෙන් හෝ අපලෝකනයෙන් හෝ කළ යුතුය. රෝගී භික්ෂුව ඔහුගේ පරිෂ්කාර ජීවත්වන කාලයේ අනිකකුට දී ඇති නම් ඒවා සංඝයාට හෝ උපස්ථායකයන්ට හෝ අයිති නැත. එහෙත් ඒ භික්ෂුව උපස්ථායකයන්ට සැලකිල්ලක් කළ යුතු ය.

“සචෙ හි පඤ්චසු සහධම්මිකෙසු යො කොචි කාලං කරොන්තො “මමච්චයෙන මය්හං පරික්ඛාරො උපජ්ඣායස්ස හොතු ආචරියස්ස හොතු සද්ධිවිහාරිකස්ස හොතු අන්තෙවාසිකස්ස හොතු මාතු හොතු පිතු හොතු අඤ්ඤස්ස වා කස්සචි හොතූ” ති වදති, තෙසං න හොති, සංඝස්සෙව හොති. න හි පඤ්චන්නං සහධම්මිකානං අච්චයෙ දානං රූහති. ගිහීනං පන රූහති.”[2]

පස් සහදැමියන් අතුරෙන් යමෙක් කලුරිය කරන්නේ මාගේ ඇවෑමෙන් මාගේ පිරිකර උපාධ්‍යායයාට වේවා ආචාර්‍ය්‍යයාට වේවා සද්ධිවිහාරිකයාට වේවා අන්තේවාසිකයාට වේවා මවට වේවා පියාට වේවා අන්කිසිවකුට හෝ වේවා යි කියා ද එසේ මළ පසු අයිතිවීම සඳහා කරන දීමනාව වලංගු නො වේ. මළහුගේ පිරිකර සංඝයාට ම හිමි වේ. මළ පසු හිමිවීම සඳහා පස් සහදැමියන් කරන දීමනාව වලංගු නො වේ. ගිහියන් එසේ කරන දීමනාව වලංගු වේ. මැරෙන තැනැත්තා විසින් දෙන ලදුව ඔහු ජීවත්වන කාලයේදී ම යමකු යමක් ගතහොත් එය ඔහුට අයිති ය. මේ කරුණ ඛුද්දසික්ඛාවෙහි මෙසේ දැක්වේ.

“න රූහතච්චයෙ දානං - පඤ්චන්නං සහධම්මිනං,

සංඝස්සෙව ද තං හොති - ගිහීනං පන රූහති.”[3]

  1. මහා - 740 පි.

  2. ස.පා. – 953 පි.

  3. ඛුද්ද - 153 පි.