සඟසතු දෑ ආරක්ෂා කිරීම පිළිබඳ සිකපද.

“යො පන භික්ඛු සංඝිකං මඤ්චං වා පීඨං වා භිසිං වා කොච්ඡං වා අජ්ඣොකාසෙ සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්‍ය න උද්ධරාපෙය්‍ය අනාපුච්ඡා වා ගච්ඡෙය්‍ය පාචිත්තියං.”

යම් මහණෙක් සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ මෙට්ටයක් හෝ කොච්ඡ නම් වූ කෙඳිවලින් කළ අසුනක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරවා හෝ යන්නේ එය නැවත තැන්පත් නො කෙරේ නම් නො කරවා නම් අනිකකුට භාර නො කොට හෝ යේ නම් පචිති වේ.

සඟසතු ඇඳ පුටු ආදිය එළිමහනේ අතුරා හෝ අතුරවා හෝ ඒවා තැන්පත් නො කොට තැන්පත් කිරීමට අනිකකුට හෝ භාර නො කොට භාණ්ඩය ඇති තැනින් ලෙඩ්ඩුපාතයක් ඉක්ම ගියේ නම් පචිති ඇවැත් වේ. කියන ලද භාණ්ඩ හැර බුමුතුරුණු පාබිසි ආදි අන් සඟසතු බඩුවක් එළිමහනේ දමා යාමෙන් දුකුළා ඇවැත් වේ. අනිකකුගේ පෞද්ගලික දෙයක් එළිමහනේ දමා ගිය ද දුකුළා ඇවැත් වේ. තමාගේ දෙය දමා යාමෙන් ඇවැත් නො වේ. හේමන්ත ග්‍රීෂ්ම සෘතු දෙක්හි වැසි නැති කාලයේ භාණ්ඩ එළිමහනේ තැබීමෙන් ඇවැත් නො වේ. සතුන් අපවිත්‍ර‍ කරන ගස් යට නො තැබිය යුතු ය.

“යො පන භික්ඛු සංඝිකෙ විහාරෙ සෙය්‍යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්‍ය න උද්ධරාපෙය්‍ය අනාපුච්ඡා වා ගච්ඡෙය්‍ය පාචිත්තියං.”[1]

යම් මහණෙක් සඟසතු විහාරයෙහි ශයනයක් අතුරා හෝ අතුරවා හෝ යන්නේ එය තැන්පත් නො කෙරේ නම් නො කරවා නම් අනිකකුට භාර නො කොට හෝ යේ නම් පචිති ඇවැත් වේ.

මේ සිකපදයේ සෙය්‍ය (ශයන) යන වචනයෙන් කියනු ලබන්නේ භිසි, චිලිමිකා, උත්තරත්ථරණ, භුම්මත්ථරණ, තට්ටිකා, චම්මක්ඛණ්ඩ, නිසීදන, පච්චත්ථරණ, තිණසන්ථාර, පණ්ණසන්ථාර යන දස ය. එහි “භිසි” යනු ගුදිරිය ය. “චිලිමිකා, යනු බදාමයෙන් මට්ටම් කර ඇති බිමෙහි පැහැය ආරක්ෂාවීම පිණිස එළන ඇතිරියික. “උත්තරත්ථරණ” යනු ඇඳ පුටුවලට එළන ඇතිරි ය. “භුම්මත්ථරණ” යනු බිමට එළන ඇතිරිය ය. “තට්ටිකා” යනු තල්පත් ආදියෙන් කළ පැදුරකි. “චම්මක්ඛණ්ඩ” යනු සම්කඩ ය. “නිසීදන” යනු හිඳගැනීමට පාවිච්චි කරන දහවලු සහිත වස්ත්‍රයෙකි. “පච්චත්තථරණ” යනු ලොම් ඇති ඇතිරිය ය. “තිණසන්ථාර” යනු පැදුරු ය. “පණ්ණසන්ථාර” යනු තල්පත් ආදියෙන් කළ පැදුර ය.

සංඝයාට අයත් කියන ලද භිසි ආදි වස්තු දශයෙන් යම්කිසිවක් ගෙන සඟසතු විහාරයක අතුරා පරිභෝග කොට යන කල්හි එය තැන්පත් නො කොට තැන්පත් නො කරවා හෝ අනිකකුට භාර නො කොට හෝ විහාරයෙන් බැහැර යන භික්ෂුවට පචිති වේ. පරික්ෂේපයක් ඇති විහාරයෙහි පරික්ෂේපයෙන් පිටතට පළමු පිය තැබීමේදී දුකුළා ඇවැත් වේ. දෙවන පිය තැබීමේදී පචිති ඇවැත් වේ. අපරික්ෂිප්ත ආරාමයෙන් උපචාරය ඉක්මවනු සමඟ පචිති ඇවැත් වේ. උපචාර යනු ලෙඩ්ඩුපාත දෙකකි.

විහාරූපචාරයේ හෝ උපට්ඨානසාලාවක හෝ මණ්ඩපයක හෝ රුක්මුලක හෝ භිසි ආදිය පනවා තැන්පත් නො කොට යන්නහුට දුකුළා ඇවැත් වේ. ඇඳක් හෝ පුටුවක් හෝ විහාරයේ හෝ විහාරූපචාරයේ හෝ උපස්ථානශාලාවේ මණ්ඩපයේ හෝ රුක්මුලක හෝ පනවා තැන්පත් නො කොට යන්නහුට දුකුළා ඇවැත් වේ.

විහාරය තුළ පනවා තැන්පත් නො කොට යන්නහුට පචිති වන්නේ විහාරය තුළ එසේ තිබෙන්නට හැර ගිය කල්හි වේයන් නැඟී අතුළ දෙයත් නැති වී විහාරයටත් හානි වන නිසා ය. පිටත අතුරා ගිය කල්හි නැසෙන්නේ අතුළ දෙය පමණෙකි. එයට දුකුළා ඇවැත් පනවා ඇත්තේ ඒ නිසා ය.

යම්කිසි විහාරයක අසුන් ගෙන එක් රැයක් වුව ද වාසය කොට යන භික්ෂුව තමා පරිභෝගකළ අසුන් විහාරස්ථ භික්ෂුවකට හෝ අන් සුදුසු කෙනකුට බාර දී යාම සිකපද නැත ද යුතුකමෙකි. යම්කිසි විහාරයක අසුන් ගෙන කලක් වාසය කළ හොත් යන කල්හි විසූ තැන පවිත්‍ර‍ කොට බඩු තැන්පත් කොට සුදුස්සකුට බාරදී යාම යුතුකමෙකි. විසූ තැන ගැන නො සලකා යාම අශීලාචාරකමෙකි. වේයන් නො නගින සතුරන්ගෙන් සොරුන්ගෙන් අන්තරායක් නො වන ආරක්ෂාව ඇති විහාරයක පනවා ගත් අසුන එසේ ම තිබෙන්නට හැර යාමෙන් ඇවැත් නො වේ.

“න භික්ඛවෙ, අධොතෙහි පාදෙහි සෙනාසනං අක්කමිතබ්බං. යො අක්කමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]

මහණෙනි, නො සේදූ පයින් සෙනසුන නොපෑගිය යුතු ය. යමෙක් පාගා නම් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ, අල්ලෙහි පාදෙහි සෙනාසනං අක්කමිතබ්බං, යෝ අක්කමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”

මහණෙනි, තෙත් පයින් සෙනසුන නො පෑගිය යුතු ය. යමෙක් පාගා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. නො පෑගිය යුත්තේ පිය තැබූ තැන වතුර පෙනෙන තරමට තෙත් වූ පයිනි. තෙත් පයින් පිරියම් කළ බිම හෝ ඇඳ පුටු පෑගීමෙන් ඇවැත් වේ. පාබිසි පෑගීමෙන් ඇවැත් නො වේ.

“න භික්ඛවෙ, සඋපාහනෙන සෙනාසනං අක්කමිතබ්බං, යො අක්කමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, වහන් සහිත පයින් සෙනසුන නොපෑගිය යුතු ය. යමෙක් පාගා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. වහන් පයලා පෑගීමෙන් හානියක් නො වන ශක්තිමත් බිම පෑගීමෙන් වරදක් නො වේ.

“න භික්ඛවෙ, පරිකම්මකතාය භූමියා නිට්ඨුහිතබ්බං, යො නිට්ඨුහෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, පිරියම් කළ බිම කෙළ නො ගැසිය යුතු ය. යමෙක් කෙළ ගසා නම් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ, පරිකම්මකතා භිත්ති අපස්සෙතබ්බා, යො අපස්සෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, පිරියම් කළ භිත්තියට හේත්තු නො විය යුතු ය. යමෙක් හේත්තු වේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. පිරියම් කළ භිත්තිය යනු සුනු ආදියෙන් මට්ටම් කරන ලද භිත්තිය හා චිත්‍ර‍කර්ම කළ භිත්තිය ය.

“න කෙවලඤ්ච භිත්තිමෙව ද්වාරම්පි වාතපානම්පි අපස්සෙන ඵලකම්පි පාසාණත්ථම්භම්පි රුක්ඛත්ථම්භම්පි චීවරෙන වා කෙනචි වා අපටිච්ඡාදෙත්වා අපස්සයිතුං න ලබ්භති.”[3]

හුදෙක් භිත්තිය ම නො වේ, දොරටු ද කවුළුවලට ද හේත්තු වන පුවරුවට ද ගල්කණුවලට ද ලී කණුවට ද සිවුරෙන් හෝ අන් කිසිවකින් නො වසා හේත්තු වීමට නුසුදුසු ය. නුසුදුසු වන්නේ ඩහදිය ගැල්වී ඒවා අපවිත්‍ර‍ වන බැවිනි.

එසමයෙහි භික්ෂූහු පා සෝදා වුව ද සඟසතු සෙනසුන්වල නිදා ගැනීම සුදුසුදැ යි සැක කළෝ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, පච්චත්ථරිත්වා නිපජ්ජිතුං”[4] යි සඟසතු ඇඳ ඇතිරිලි මත තමා සතු දෙයක් අතුරා නිදන්නට අනුදැන වදාළහ.

“පරිභණ්ඩකතං භූමිං වා භුම්මත්ථරණසෙනාසනං වා සංඝිකමඤ්චපීඨං වා අත්තනො සන්තකෙන පච්චත්තථරණෙන පච්චත්ථරිත්වා ව නිපජ්ජිතබ්බං. සචෙ නිද්දායතො’පි පච්චත්ථරණෙ සංකුචිතෙ කොචි සරීරාවයවො මඤ්චං වා පීඨං වා ඵුසති ආපත්තියෙව.”[5]

පිරියම් කළ බිම හෝ බුමුතුරුණු සෙනසුන් හෝ සඟසතු ඇඳ පුටු හෝ තමා අය්ත පච්චත්ථරනයකින් වසා ම නිදිය යුතු ය. ඉදින් නිදන කල්හි පච්චත්ථරණය හැකිලී යම්කිසි ශරීරාවයවයක් ඇඳෙහි හෝ පුටුවෙහි ස්පර්ශ වී නම් ඇවැත් වේ ම ය.

පච්චත්ථරණය භික්ෂූන්ට නියමිත සිවුරු නවයෙක් එකකි. එහි දිග පළල නියමයක් නැත. පැහැය නියමයක් ද නැත. එය පඬු පොවා හෝ නො පොවා පරිභෝග කිරීමට සුදුසු ය. එය සඟසතු අසුන් කිලිටි නො වීම පිණිස ඒවා මත එළා ගැනීම පිණිස ය. හැඳීමට පෙරවීමට නුසුදුසු ය.

  1. පාචි - 55 පි.

  2. චූල - 254 පි.

  3. ස.පා. – 921 පි.

  4. චූල - 254 පි.

  5. ස.පා. – 922 පි.