එසමයෙහි එක්තරා භික්ෂුවකට කුක්ෂිරෝගයක් විය. උපස්ථායකයකු නැති ඒ භික්ෂුව මලමුත්‍ර තැවරුණු සිරුරෙන් ශයනය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා සෙනසුන් බලා වඩනා සේක් ඒ භික්ෂුව වෙසෙන විහාරයට පැමිණි සේක. තමාගේ මලමුත්‍රයෙන් තැවරී නිදන ඒ භික්ෂුව දැක “මහණ තට කිනම් ආබාධයක් ඇත්තේ දැ”යි භාග්‍යවතුන් වහන්සේ විචාළහ. “ස්වාමීනි, මාහට කුක්ෂිවිකාරයකැ”යි භික්ෂුව සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණ, තට උපස්ථායකයෙක් නැත්තේ දැ”යි විචාළහ. ගිලන් භික්ෂුව නැත යයි කීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණ, තට කුමක් නිසා භික්ෂූහු උවටැන් නො කෙරෙත්දැ”යි විචාළහ. “ස්වාමීනි, මම භික්ෂූන්ට උවටැන් නො කරන්නෙමි, ඒ නිසා භික්ෂූහු මට උපස්ථාන නො කෙරෙති”යි භික්ෂුව සැල කෙළේ ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය, වතර ගෙනෙව, මේ භික්ෂුව නාවන්නෙමු”යි වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “එසේය, ස්වාමීනි,” යි කියා වතුර ගෙන ආහ. භාග්‍යවතුන් වහන්සේ වතුර වත් කළහ. ආනන්දස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුවගේ සිරුර පිරිසිදු කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිසින් ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ පාදයන්ගෙන් ද භික්ෂුව ඔසවා ඇඳෙහි ශයනය කරවූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂුසංඝයා රැස්කරවා “මහණෙනි, අසවල් විහාරයෙහි ගිලන් භික්ෂුවක් ඇත්තේ දැ”යි අසා “ඇතය”යි භික්ෂූන් සැල කළ කල්හි ඒ භික්ෂුවට කිනම් රෝගයක් දැයි විචාළ කල්හි “භාග්‍යවතුන් වහන්ස, කුසයේ රෝගයකැ”යි භික්ෂූහු කීහ. ඉක්බිති “මහණෙනි, ඒ භික්ෂුවට උවටැන් කරන්නෙක් ඇත්තේ දැ”යි විචාරා “නැතය”යි සැල කළ කල්හි “කුමක් නිසා ඒ භික්ෂුවට භික්ෂූහු උපස්ථාන නො කෙරෙත් දැ”යි විචාළහ. “ස්වාමීනි, ඒ භික්ෂුව භික්ෂූන්ට උපස්ථාන නො කරන්නෙකි. එබැවින් භික්ෂූහු ඔහුට උපස්ථාන නො කෙරෙති” යි සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“නත්ථි වො භික්ඛවෙ, මාතා නත්ථි පිතා යෙ වො උපට්ඨහෙය්‍යුං, තුම්හෙ චෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං න උපට්ඨහිස්සථ අථ ඛො චරහි උපට්ඨහිස්සති.
යො භික්ඛවෙ, මං උපට්ඨභෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍ය. සවෙ උපජ්ඣායො හොති, උපජ්ඣායෙන භික්ඛවෙ යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ ආචරියෙ හොති, ආචරියෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සද්ධිවිහාරිකො හොති. සද්ධිවිහාරිකෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ අන්තෙවාසිකො හොති, අන්තෙවාසිකෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානුපජ්ඣායකො හොති, සමානුපජ්ඣායකෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානාචරියකො හොති, සමානාචරියකෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ න හොති උපජ්ඣායො වා ආචරියො වා සද්ධිවිහාරිකො වා අන්තෙවාසිකො වා සමානුපජ්ඣායො වා සමානාචරියකො වා, සංඝෙන උපට්ඨාතබ්බො, නො චෙ උපට්ඨහෙය්‍ය, ආපත්ති දුක්කටස්ස.”[1]
තේරුම:-
“මහණෙනි, නුඹලාට උපස්ථාන කිරීමට මවක් නැත, පියෙක් නැත. මහණෙනි, ඉදින් තෙපි ඔවුනොවුන්ට උපස්ථාන නො කරන්නාහු නම් දැන් තොපට කවරෙක් උපස්ථාන කෙරේ ද?
“මහණෙනි, යමෙක් මා හට උපස්ථාන කෙරේ ද හෙතෙමේ ගිලනාට උපස්ථාන කරන්නේ ය. මහණෙනි, ඉදින් ගිලනාගේ උපාධ්‍යායයෙක් ඇත්තේ නම් උපාධ්‍යායයා විසින් ජීවත් වන තෙක් ගිලනාට උපස්ථාන කළ යුතු ය. ඔහුගේ සුවය බලාපොරොත්තු විය යුතුය. ඉදින් ආචාර්‍ය්‍යයේක ඇත්තේ නම් ආචාර්‍ය්‍යයා විසින් ජීවත්වන තෙක් උපස්ථාන කළ යුතු ය. සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් සද්ධිවිහාරිකයෙක් ඇත්තේ නම් සද්ධිවිහාරිකයා විසින් ජීවත්වන තාක් උපස්ථාන කළ යුතු ය. සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් අන්තේවාසිකයෙක් ඇත්තේ නම් අන්තේවාසිකයා විසින් ජීවත් වන තාක් උපස්ථාන කළ යුතු ය. සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් සමානෝපාධ්‍යාය ඇතියෙක් ඇත්තේ නම් සමානෝපාධ්‍යායයා විසින් ජීවත් වන තෙක් උපස්ථාන කළ යුතු ය. සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් සමානාචාර්‍ය්‍යයෙක් ඇත්තේ නම් සමානාචාර්‍ය්‍යයා විසින් දිවි ඇති තෙක් උපස්ථාන කළ යුතු ය. ඉදින් ගිලන් භික්ෂුවට උපාධ්‍යායයෙක් හෝ ආචාර්‍ය්‍යයෙක් හෝ සද්ධිවිහාරිකයෙක් හෝ අන්තේවාසිකයෙක් හෝ සමානෝපාධ්‍යායයෙක් හෝ සමානාචාර්‍ය්‍යයෙක් හෝ නැත්තේ නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතු ය. ඉදින් උපස්ථාන නො කරන්නේ නම් දුකුළා ඇවැත් වේ.”
රෝගියා ආගන්තුක භික්ෂුවක් හෝ කිසිවකු නැතියෙක් හෝ වේ නම් විහාරස්ථ සංඝයා විසින් උපස්ථාන කළ යුතු ය. නො කළේ නම් සැමට ම ඇවැත් වේ. සංඝයා වාර නියම කරගෙන උපස්ථාන කෙරේ නම් තමාගේ වාරයේදී උපස්ථාන නො කරන භික්ෂුවට ඇවැත් වේ. එක් භික්ෂුවක් බාරගෙන උපස්ථාන කෙරේ නම් සෙස්සන්ට ඇවැත් නැත. මේ ගිලානෝපස්ථානය සංඝස්ථවිරයන් වහන්සේගේ පටන් සැමට ම අයිති ය.
“යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍ය” යනු ඇතැමුන් වරදවා තේරුම් කරන පාඨයෙකි. “යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය” යන තැන උපට්ඨහෙය්‍ය යන්නෙහි අදහස අවවාදය අනුශාසනය පිළිගැනීම ය. අවවාදානුශාසනය පිළිගැනීමත් එක්තරා උපස්ථානයෙකි. යමෙක් අවවාදානුශාසනය පිළිගැනීම් වශයෙන් මට උපස්ථාන කෙරේ නම් ඔහු ගිලනාට උපස්ථාන කරන්නේ ය යනු ඒ පාඨයේ තේරුම ය. එය විනය අටුවාවෙහි තේරුම් කර ඇත්තේ මෙසේ ය.
“යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍යාති යො මං ඔවාදානුසාසනී කරණෙන උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය මම ඔවාදකාරකෙන ගිලානො උපට්ඨාතබ්බොති අයමෙත්ථ අත්ථො.”[2]
බුදුනට උපස්ථාන කිරීම හා ගිලනකුට උපස්ථාන කිරීම සමානය යි කීම බලවත් වරදෙකි. ගිලනකුට උපස්ථාන කිරීම බුදුනට උපස්ථාන කිරීමෙන් දහසින් පංගුවක් වටිනා ක්‍රියාවක් නො වේ.