ගෝලයන් තැනීම

උපාධ්‍යාය වී සාමණේරයන් තැනීම, උපාධ්‍යාය වී ගෝලයන් උපසම්පදා කිරීම, නිස දීම යන මේවාට සියලු ම භික්ෂූහු සුදුස්සෝ නො වෙති. නුසුදුස්සන්ට ඒවා කිරීමෙන් ඇවැත් වේ. උපසම්පදාවෙන් එක් වසක් ඇති වංගන්තපුත්‍ර‍ උපසේන භික්ෂුව ගෝලයකු උපසම්පදා කරගෙන වස් වැස දෙවස් ඇතියකු වී ගෝලයා ද සමග බුදුරදුන් දක්නට ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපසේන භික්ෂුව හා පිළිසඳර කථා කොට, “මහණ, නුඹට කොතෙක් වස් ඇත්තේ දැ” යි වදාළහ. “ස්වාමීනි, මම දෙවස් ඇත්තෙමි” යි උපසේන භික්ෂුව කීය. මේ භික්ෂුව කොතෙක් වස් ඇත්තේ දැ යි විචාළහ. “ස්වාමීනි, එක් වසක් ඇත්තේය” යි සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මේ මහණ නුඹට කවරෙක් වේ දැ” යි විචාළහ. උපසේන භික්ෂු තෙමේ, “ස්වාමීනි, මේ මහණ මාගේ සද්ධිවිහාරිකයෙකැ”යි සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ -

“අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථඤ්හි නාම ත්වං මොඝපුරිස අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො අඤ්ඤං ඔවදිතුං අනුසාසිතුං මඤ්ඤිස්සසි.”[1]

යනුවෙන්, හිස් පුරුෂය, නුඹ අන්‍යයන්ගේ අවවාදානුශාසන ලැබිය යුතු නවකයකුව සිට මෙසේ අන්‍යයන්ට අවවාද කිරීමට අනුශාසනා කිරීමට සිතීම ශ්‍ර‍මණධර්මයට අනුකූල නො වේය, සුදුසු නො වේය, ශ්‍ර‍මණයන්ට යෝග්‍ය නො වේය, කැප නො වේය, කළ යුත්තක් නො වේය, යනාදීන් උපසේන භික්ෂුවට ගර්හා කොට දැහැමි කථාවක් කොට භික්ෂූන් අමතා:

“න භික්ඛවෙ ඌන දසවස්සෙන උපසම්පාදෙතබ්බො, යා උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

යනු වදාළ සේක. “මහණෙනි, දසයකට අඩු වස් ඇතියකු විසින් උපාධ්‍යාය වී උපසම්පදා නො කළ යුතු ය. යම් මහණෙක් උපසම්පදා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි තේරුම ය. එකල්හි දවසස් ඇති බාල වූ අව්‍යක්ත වූ භික්ෂූහු ගෝලයන් උපසම්පදා කළහ. බාල වූ උපාධ්‍යායන්ට පණ්ඩිත සද්ධිවිහාරිකයෝ වූහ. අව්‍යක්ත උපාධ්‍යායයන්ට ව්‍යක්ත සද්ධිවිහාරිකයෝ වූහ. අල්පශ්‍රැත උපාධ්‍යායන්ට බහුශ්‍රැත සද්ධිවිහාරිකයෝ වූහ. දුශ්ප්‍රාඥ උපාධ්‍යායයන්ට ප්‍ර‍ඥාවත් සද්ධිවිහාරිකයෝ වූහ. ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළ කල්හි ඒ බාල අව්‍යක්ත උපාධ්‍යායයන්ට ගර්හා කොට භික්ෂූන් අමතා දැහැමි කථාවක් කොට :-

“න භික්ඛවෙ බාලෙන අබ්‍යත්තෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙක දසවස්සෙන වා උපසම්පාදෙතුං.”[2]

යනු වදාළ සේක. “මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ භික්ෂුව විසින් උපාධ්‍යාය වී උපසම්පදා නො කළ යුතුය. යම් මහණෙක් උපසම්පදා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, දසවස් ඇත්තා වූ ද දසයකට අධික වස් ඇත්තා වූ ද ව්‍යක්ත වූ ගෝලයන් තැනීමට සමත් වූ භික්ෂුව විසින් උපසම්පදා කිරීමට අනුදනිමිය” යනු එහි තේරුමය.

“න භික්ඛවෙ බාලෙන අඛ්‍යත්තෙන නිස්සයො දාතබ්බො, යො දදෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙක දසවස්සෙන වා නිස්සයං දාතුං.”[3]

මෙසේ වදාරා ඇති බැවින් දසවස් නො වූ අව්‍යක්ත භික්ෂුව විසින් නිස දීම ද නො කළ යුතු ය. සාමණේරයන්ට ද උපාධ්‍යාය නො දිය යුතු ය. උපාධ්‍යායාචාර්‍ය්‍ය වීමට නිශ්‍ර‍යාචාර්‍ය්‍යවීමට සුදුසු ව්‍යක්ත භික්ෂුවගේ අංග විනය අටුවාවෙහි මෙසේ දක්වා ඇත.

උපසම්පදා වී දසවසක් හෝ වැඩි ගණනක් හෝ වස් ඇතියකු වීම, පිරිස විනයෙන් හික්මවිය හැකිවීම පිණිස යටත් පිරිසෙයින් භික්ෂු භික්ෂුණී විභංග දෙක පාඩම් තිබීම (හොඳට ම පාඩම් නැත ද තිදෙනෙකු එකතු වී කිය හැකි තරමට වුව ද පාඩම් තිබීම ප්‍ර‍මාණවත් බව කියා ඇත.) කර්මාකර්ම හා වත්තක්ඛන්ධකය දැනීම, පිරිසට ධර්මය කියාදිය හැකිවීමට මජ්ඣිම නිකායෙන් මූලපණ්ණාසකය හෝ දීඝනිකායේ මහා වග්ගය හෝ සංයුක්තනිකායේ මහාවග්ගය හෝ යට වර්ග තුන හෝ අංගුත්තර නිකායෙන් බාගයක් හෝ තිකනිපාතයෙන් යට කොටස හෝ අටුවා සහිත ජාතක පොත හෝ කථාවස්තූන් සහිත ධම්මපදය හෝ උගෙන තිබීම යන මේවා නිශ්‍ර‍යාචාර්‍ය්‍ය උපාධ්‍යායාචාර්‍ය්‍යයකු වීමට තිබිය යුතු අංගයෝය. අභිධර්මයෙන් යම් කිසි කොටසක් දැන සිටිය යුතු බව කියා නැත. එබැවින් අටුවා සහිත විනය අභිධර්ම පිටක දෙක ප්‍ර‍ගුණ කර ඇත ද සූත්‍ර‍ පිටකයෙන් ග්‍ර‍න්ථයක් ප්‍ර‍ගුණ කර නැති භික්ෂුව ආචාර්‍ය්‍යත්වයට ප්‍ර‍මාණ නො වන බව කියා ඇත. කියන ලද අංග සම්පූර්ණ වූ දසවස් ඇති ස්ථවිර භික්ෂුව “පරිසූපස්ථායක බහුශ්‍රැත” නම් වේ. ඒ භික්ෂුවට අන් ගුරුවරයෙක් ඇසුරු නො කොට කැමති තැනකට යමින් කැමති තැනක වෙසෙමින් පිරිස් පරිහරය කළ හැකි ය. පරිසූපස්ථායක භික්ෂුවගේ අංග විනයවිනිශ්චයෙහි මෙසේ සැකෙවින් දක්වා ඇත.

“වාචුග්ගතා විභංගා ද්වෙ - පගුණා ව්‍යඤ්ජනාදිතො

චතූසුපි නිකායෙසු - එකො වා පොත්ථකො පි ච,

කම්මාකම්මඤ්ච වත්තානි - උග්ගහෙතබ්බමෙත්තකං,

සබ්බන්තිමපරිච්ඡෙදා - දසවස්සො සචෙ පන,

බහුස්සුතො දිසාමොක්ඛො - යෙන කාමංගමො සියා,

පරිසං ලභතෙ කාමං - උපට්ඨාපෙතුමිස්සරො.”[4]

මෙකල උපාධ්‍යාය සම්මුති දීමක් කෙරෙති. තනතුරක් වශයෙන් උපාධ්‍යායත්වයක් දෙති. එසේ කළ යුතු බවක් විනයෙහි සඳහන් නො වේ. සම්මුතියක් ලදත් නො ලදත් ඉහත දැක් වූ පරිසූපස්ථායක බහුශ්‍රැතාංග ඇති ස්ථවිර තෙමේ උපාධ්‍යායත්වයට සුදුස්සෙකි. ඒ අංගයන්ගෙන් යුක්ත නො වන භික්ෂුව උපාධ්‍යාය සම්මුතිය ලදත් උපාධ්‍යාය තනතුර ලදත් උපාධ්‍යායයෙක් නො වේ.

  1. මහා - 128 පි.

  2. මහා - 130 පි.

  3. මහා - 154 පි.

  4. වි. විනි - 1140 – 1142 දක්වා ගාථා.