නිස ගැනීම.

උපාධ්‍යාය ගැනීමය යන්නෙහි තේරුම අවවාදානුශාසනා ලබමින් ඇසුරු කෙරෙමින් සමීපයෙහි වෙසෙන්නට යම්කිසි මහතෙර කෙනකුගෙන් අවසර ලබා ගැනීම ය. උපාධ්‍යාය දීම යන්නෙහි තේරුම යම්කිසිවකුට තමාගෙන් අවවාදානුශාසනා ලබමින් ඇසුරු කෙරෙමින් සමීපයේ විසීමට අවසර දීම ය. සද්ධිවිහාරිකයාගේ උපාධ්‍යායාචාර්‍ය්‍යවරයා ඇසුරු කරමින් වෙසෙන ස්වභාවය නිස්සය (නිස) නම් වේ. ඒ නිස සැම කල්හි ම නො පවතී. උපාධ්‍යායයාචාර්‍ය්‍යවරයා විහාරයෙන් බැහැර වී යාම් ආදි කරුණුවලින් නිස සන්සිඳෙයි. නැති වී ය යි.

“අනුජානාමි භික්ඛවෙ බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන පඤ්ච වස්සානි නිස්සාය වත්ථුං අබ්‍යත්තෙන යාවජීවං.”[1]

යනුවෙන් ව්‍යක්ත වූ ප්‍ර‍තිබල වූ භික්ෂුව විසින් පස්වසක් ආචාර්‍ය්‍යයකු ඇසුරු කෙරෙමින් වාසය කරන්නටත් අව්‍යක්ත භික්ෂුව විසින් දිවිහිමියෙන් ආචාර්‍ය්‍යවරයකු ඇසුරෙහි විසීමටත් අනුදැන වදාරා ඇත්තේය. එබැවින් උපසම්පදාවෙන් පස්වසක් නො වූ භික්ෂුව විසින් ආචාර්‍ය්‍යවරයකුගෙන් වෙන්ව වාසය නො කළ යුතුය. අව්‍යක්ත භික්ෂුව විසින් දිවිහිමියෙන් ආචාර්‍ය්‍යවරයකු ඇසුරු කරමින් විසිය යුතු ය. නිශ්‍ර‍යමුඤ්චනකාංගයන් අපරිපූර්ණ භික්ෂුවට ආචාර්‍ය්‍යවරයා ගෙන් වෙන්ව විසීමෙන් ඇවැත් වේ. නිශ්‍ර‍යමුඤ්චනකාංගයන් සම්පූර්ණ වූ භික්ෂුවට ගුරුවරයාගෙන් වෙන් ව රිසි සේ විසීමෙන් ඇවැත් නො වේ.

  1. මහා - 196 පි.