උපාධ්‍යායයා විසින් පැවතිය යුතු ආකාරය.

star_outline

“උපජ්ඣායෙන භික්ඛවෙ සද්ධිවිහාරිකම්හි සම්මා වත්තිතබ්බං.” යනුවෙන් උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මැනවින් පැවතිය යුතුයයි වදාරා ඇති බැවින් සද්ධිවිහාරිකයා ගැන සැලකිල්ලක් නැතිව වෙසෙන උපාධ්‍යායයන්හට ද එයින් ඇවැත් වේ. උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට කළ යුතු වත් කොටසක් ද ඇත්තේ ය. ඒවා ද ශාසනාවතරණයෙහි[1] සැකෙවින් දක්වා ඇත. මහාඛන්ධකයෙන් හා වත්තක් ඛන්ධකයෙන් ඒවා විස්තර වශයෙන් දත හැකිය. සද්ධිවිහාරිකයා කෙරෙහි මැනවින් පැවතීමය යනු ඒ වත් සම්පූර්ණ කිරීම ය.

“උපජ්ඣායෙන භික්ඛවෙ, සද්ධිවිහාරිකො සංගහෙතබ්බො අනුග්ගහෙතබ්බො උද්දෙසෙන පරිපුච්ඡාය ඔවාදෙන අනුසාසනියා.”[2]

මහණෙනි, උපාධ්‍යායයා විසින් පාළිය උගැන්වීමෙන් පාළියේ අර්ථය උගැන්වීමෙන් අවවාදයෙන් අනුශාසනයෙන් සද්ධිවිහාරිකයාට සංග්‍ර‍හ කළ යුතුය, අනුග්‍ර‍හ කළයුතුය”යි වදාරා ඇති බැවින් සද්ධිවිහාරිකයාට පාළිය හා අර්ථය උගැන්වීම උපාධ්‍යායයා අයත් ය. සද්ධිවිහාරිකයන් පිරිවෙන්වලට විශ්වවිද්‍යාලවලට යවා නොයෙක් දේ උගන්වා විභාගවලින් සමත් කරවීම උපාධි ලබාදීම උපාධ්‍යායයන්ට අයත් කාර්‍ය්‍යයක් නො වේ. සද්ධිවිහාරිකයන් තැන තැන නො යවා ඔවුනට දතමනා ධර්ම විනය උගන්වා දීමට නො සමත් ස්ථවිරයෝ උපාධ්‍යායත්වයට සුදුස්සෝ නො වෙති. වර්තමාන භික්ෂූන් බොහෝ දුරට ප්‍ර‍තිපත්තියෙන් පිරිහී ඇත්තේ සද්ධිවිහාරිකයන්ට උගැන්වීමට නො සමත් උපාධ්‍යායාංග සම්පූර්ණ නැති අව්‍යක්ත භික්ෂූන් ශිෂ්‍යයන් පැවිදි කොට උපසම්පදා කොට උගන්වන්නය කියා ඔවුන් තැන තැන යැවීමට පුරුදු වීම නිසා ය. මෙකල එය නො වැළැක්විය හැකි තත්ත්වයට පත්වී ඇත. නො හික්මෙන සද්ධිවිහාරිකයන් උපාධ්‍යායයන් විසින් බැහැර කළ යුතු ය. “අනුජානාමි භික්ඛවෙ, අසම්මා වත්තන්තං පණාමෙතුං.”[3] යනුවෙන් නො හික්මෙන සද්ධිවිහාරිකයන් බැහැර කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත්තේය.

“පඤ්චහි භික්ඛවෙ අංගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො පණාමෙතබ්බො. උපජ්ඣායම්හි නාධිමත්තං පෙමං හොති, නාධිමත්තො පසාදො හොති, නාධිමත්තා හිරී හොති, නාධිමත්තො ගාරවො හොති, නාධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහංගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො පණාමෙතබ්බො.”[4]

“මහණෙනි, පඤ්චාංගයකින් යුක්ත වන සද්ධිවිහාරිකයා බැහැර කළයුතු ය. උපාධ්‍යායයා කෙරෙහි අධික ප්‍රේමය නැත්තේ වේ ද, අධික ප්‍ර‍සාදය නැත්තේ වේ ද, අධික ලජ්ජාව නැත්තේ වේ ද, අධික ගෞරවය නැත්තේ වේද, අධික මෙත් වැඩීම නැත්තේ වේ ද, මහණෙනි, මේ පඤ්චාංගයෙන් යුක්ත වන සද්ධිවිහාරිකයා බැහැර කළ යුතු ය.”

නො හික්මෙන්නා වූ සද්ධිවිහාරිකයාහට උපාධ්‍යායයා විසින් “තා බැහැර කරමි” යි හෝ “නුඹ මා වෙත නො එව” යි හෝ “නුඹේ පා සිවුරු ගෙන යන්නය” යි හෝ “මා හට උපස්ථාන නො කරව” යි හෝ කිය යුතු ය. එසේ කීම හෝ ඒ අදහස කයින් ඇඟවීම හෝ බැහැර කිරීම ය. උපාධ්‍යායයා විසින් බැහැර කරන ලද සද්ධිවිහාරිකයා විසින් උපාධ්‍යායයා ක්ෂමා කරවා ගෙන නැවත කීකරුව විසිය යුතු ය.

“න භික්ඛවෙ පණාමිතෙන න ඛමාපෙතබ්බො, යො න ඛමාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, උපාධ්‍යායයා විසින් බැහැර කරන ලද්දහු විසින් ක්ෂමා කරවා ගත යුතු ය. යමෙක් ක්ෂමා නො කරවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. සද්ධිවිහාරිකයා ක්ෂමා කරවන කල්හි උපාධ්‍යායයා ක්ෂමා විය යුතු ය. ක්ෂමා නො වන්නේ නම් උපාධ්‍යායයාහට ද දුකුළා ඇවැත් වේ නො හික්මෙන සද්ධි විහාරිකයන් බැහැර නො කිරීමෙන් ද, අනුන්ගේ කේලාම් ඇසීම් ආදියෙන් මැනවින් හැසිරෙන සද්ධිවිහාරිකයන් බැහැර කිරීමෙන් ද උපාධ්‍යායයන්ට ඇවැත් වේ.

  1. ශාසන - 131 පි. (7 මුද්‍ර‍ණය - 103 පි.)

  2. මහා - 106 පි.

  3. මහා - 116 පි.

  4. මහා - 116 පි.