ධර්මගුණයන් අතුරෙන් ස්වාක්ඛාත ගුණය බෙහෙවින් කිය යුත්තේ පර්‍ය්‍යාප්තිධර්මය සම්බන්ධයෙනි. ලෝකයෙහි අනේක ශාස්තෲන් විසින් ප්‍රකාශිත එකිනෙකට වෙනස් බොහෝ ධර්ම ඇත්තේ ය. යම් ශාස්තෲවරයකුගේ ධර්මයෙහි ඇතය යි කී දෙය ඒකාන්තයෙන්ම ඇති නම්, යමකින් සිදුවෙතැ යි දැක්වු ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ ඵලයක් ඒකාන්තයෙන් ඇති වේ නම්, පුරවන්නට අඩු තැන් නැති නම්, වැරදුණු තැන් නැතිනම්, මුල මැද අග යන තුන් තැන ම යහපත් වේ නම් ඒ ධර්මය ඒකාන්ත සත්‍යය ධර්මයෙකි. එබඳු ධර්මයක් වේ නම් ධර්මය ඒකාන්තයෙන් යහපත් වූ ධර්මයෙකි. ඒ සර්වකාර සුන්දරත්වය ධර්මයේ ස්වාක්ඛාත ගුණය ය.
ඇතැම් ශාස්තෲන් විසින් ධර්මය දේශනය කර තිබෙන්නේ ඒ දේශනය කරන කාරණය ගැන හරි දැනීමකින් දැකීමකින් නොව පරිකල්පනයෙනි. අනුමානයෙනි, ලෝකය ගැන කල්පනා කරන්නා වූ ඇතැම්හු, පුටුවක් ඇත්තේ මේසයක් ඇත්තේ ගෙයක් ඇත්තේ රියක් ඇත්තේ ඒවා තනන්නන් ද ඇති නිසාය. තනන්නවුන් නැතිව ඒවා කවරාකාරයකින්වත් ඉබේ ඇතිවන්නේ නැත. එමෙන් සමබිම්-කඳු-හෙල් සහිත වූ, ගං-හෝ-විල්-මුහුදු සහිත වූ, ඉර-සඳ-තාරකා සහිත වූ, රන්-රිදී-මුතු-මැණික් ආදි නොයෙක් වස්තු සහිත වූ, අනේකප්‍රකාර වෘක්ෂ ලතා සහිත වූ, අනේක සත්ත්වයන් සහිත වූ, ඉතා විචිත්‍ර වූ මේ ලෝකය තනන්නකු නැතිව ඉබේ ඇති විය නො හැකි ය. මෙය තැනූ කෙනෙකු ද විය යුතුයැයි සිතති. මේ විශාල ලෝකය සුළු බලයකින් සුළු දැනුමකින් නො තැනිය හැකිය. ලෝකය තැනිය හැකි වීමට ඕනෑ ම දෙයක් සිතීම් මාත්‍රයෙන්ම නිර්මාණය කළ හැකි පුදුම බලයක් ඇති සියල්ල ගැන ම දැනුම ඇති සර්වබලධාරිසර්වඥයකු සිටිය යුතුය යි සිතති. එබඳු පුද්ගලයකු පොළොවෙහි දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන්ලොවක ඇතය යි සිතති. එතරම් බලයක් ඇති පුද්ගලයා මිනිසුන් සේ දිරන්නකු මැරෙන්නකු නොවී හැම කල්හි ජීවත් වන්නකු කොට සිතති. මිනිස්ලොව නොයෙක් දුක් කරදර දක්නා වූ ඔවුහු සර්වබලධාරි දෙවියන් වෙසෙන තැන නිදුක් තැනකැයි කල්පනා කරති. දෙවියන් කෙරෙහි භක්තිමත් ව විසීමෙන් හා පුදපූජා කිරීමෙන් දෙවියන් සතුටු කිරීම එහි යාමේ උපායය යි කල්පනා කරති. මෙසේ කල්පනා කොට අනුමානයෙන් පවසන මුල මැද අග යන තුන් තැනින් එක් තැනකුදු යහපත් නො වන අසත්‍ය ධර්මයෝ දුරාඛ්‍යාත ධර්මයෝ ය.
“දුරක්ඛාතෙ භික්ඛවෙ, ධම්මවිනයෙ යො ච සමාදපෙති යං ච සමාදපෙති යො ච සමාදපිතො තථත්තාය පටිපජ්ජති, සබ්බෙ තෙ බහුං අපුඤ්ඤං පසවන්ති.”
(අංගුත්තර - ඒකක)
“මහණෙනි, දුරාඛ්‍යාත ධර්මවිනයෙහි යමෙක් ඒ ධර්මය සෙස්සන්ට පිළිගන්වයි ද යමකුට පිළිගන්වයි ද යමෙක් පිළිගෙන පිළිපදී ද ඒ සියල්ලෝම බොහෝ අකුසල් රැස් කෙරෙතිය” යනු එහි තේරුම ය.
තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය මෙසේ විය හැකිය යි හේතු යුක්ති පරිකල්පනයෙන් අනුමානයෙන් දේශනය කරන ලද්දක් නොව සර්වඥතාඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන, ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක දේශනය කරන ලද්දකි. අතීත කල්ප පරම්පරාවෙහි අනන්තලෝකධාතු ගත සත්ත්වයනට ඉෂ්ට විපාක ගෙන දුන් කර්මයන් මේවාය යි සර්වඥතාඥානයෙන් හරියට ම දැන තථාගතයන් වහන්සේ කුශලයන් පනවා වදාළහ. එසේ ම අතීත කල්ප පරම්පරාවෙහි සත්ත්වයන්ට අනිෂ්ට විපාකයන් අති කළ කර්මයන් සර්වඥතාඥානයෙන් හරියට ම දැන වදාරා මේ මේ ධර්මයෝ අකුශලයෝ ය යි අකුශලයන් පනවා වදාළහ. ඒ ඒ පුද්ගලයන්ට අන්තරාය වූ ධර්මයන් හරියට ම දැක මේ ධර්මයෝ අන්තරායිකයෝය යි අන්තරායික ධර්ම පනවා වදාළහ. පින් කළ සත්ත්වයන්ගේ වාසභූමි වන දිව්‍යබ්‍රහ්ම ලෝකයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැක ඒවා ප්‍රකාශ කළහ. එසේම පව් කළ සත්ත්වයන්ගේ වාසභූමි වන සතර අපාය ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැක ප්‍රකාශ කළහ. කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයෙහි ස්ථීර කිසිවක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ම අනිත්‍ය ධර්මය ප්‍රකාශ කළහ. එසේ ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ම ලෝකයේ දුඃඛස්වභාව හා අනාත්මස්වභාව වදාළහ. සසර දුක ඉන් මිදෙනු පිණිස අතීත බුදු පසේබුදු මහරහතන් වහන්සේ විසින් පිවිස වදාළ නිත්‍යසුඛය වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව උන් වහන්ස්ලා දුටු පරිදිම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක වදාරා නිර්වාණ ධර්මය ප්‍රකාශ කළහ. නිර්වාණ මාර්ගය වූ සතර සතිපට්ඨාන - සතර සම්‍යක්ප්‍රධාන - සතර ඍද්ධිපාද - පඤ්චේන්ද්‍රිය - පඤ්චබල - සප්තබෝධ්‍යංග - ආර්යඅෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ම වදාළහ. පඤ්චස්කන්ධය - ද්වාදසායතනය - අටළොස්ධාතු - දෙවිසි ඉන්ද්‍රිය - ප්‍රතීත්‍ය සමුත්පාදය - චතුරාර්යසත්‍යය යනාදි ධර්මයන් අනුමානයෙන් තොරව ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැන වදාළහ. ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය සර්වාකාරයෙන්ම සත්‍ය ධර්මයෙකි. දිනක් ගෝතමක චේතිය නම් ස්ථානයේදී තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනය කරන ධර්මය මෙසේ සහතික කොට වදාළ සේක.
“අභිඤ්ඤායාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි නො අනභිඤ්ඤාය, සනිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අනිදානං, සප්පටිහාරියාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අප්පටිහාරියං, තස්ස මය්හං භික්ඛවෙ අභිඤ්ඤාය, ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පටිහාරියං ධම්මං දෙසයතො නො අප්පටිහාරිං, කරණීයො ඔවාදො, කරණීයා අනුසාසනී, අලං ච පන වො තුට්ඨීයා අලං අත්තමනතාය අලං සොමනස්සාය සම්මාසම්බුද්ධො වත භගවා ස්වාක්ඛාතො ධම්මො සුපටිපන්නො සංඝොති”
(අඞ්ගුත්තර තිකනිපාත)
“මහණෙනි, මම ස්කන්ධායතනධාත්වාදී ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ම දේශනය කරමි. නො දැන දේශනය නො කරමි. හේතු සහිත ව දේශනය කරමි. හේතු රහිතව නො දෙසමි. විරුද්ධවාදීන් බැහැර කිරීම් වශයෙන් ප්‍රාතිහාර්ය සහිතව ම ධර්මය දේශනය කරමි. ප්‍රාතිහාර්‍ය්‍ය රහිතව නො දෙසමි. මහණෙනි, එසේ ධර්මය දේශනා කරන්නා වූ මාගේ අවවාදය අනුශාසනය කළ යුතු ය. මහණෙනි, තොපට භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක්සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛ්‍යාතය, සංඝයා සුප්‍රතිපන්නය යි සතුටු වීමට සුදුසු ය” යනු එහි තේරුමය. මේ දේශනය කළ කල්හි දහසක් ලෝකධාතු කම්පිත විය.
පරම සත්‍යය වූ තථාගත ධර්මය කිසිවකුට බොරු කළ නො හැකි ය. වාද කොට ධර්මය බොරු කිරීමේ අදහසින් බොහෝ ක්ෂත්‍රිය පණ්ඩිතයෝ ද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද, ගෘහපති පණ්ඩිතයෝ ද, ශ්‍රමණ පණ්ඩිතයෝ ද, බුදුරදුන් වෙත පැමිණියෝ ය. ඔවුන්ගෙන් ඇතැමෙක් පරාජයට පත්ව පළා ගියහ. ඇතැමෙක් තථාගතයන් වහන්සේගේ ම ශ්‍රාවකයෝ වූහ. තථාගතයන් වහන්සේගේ ධර්මය පරම සත්‍යයක් වන බැවින් ද, මුල මැද අග යන තුන් තැනින් කොතනකවත් පිරවිය යුතු අඩුවක් නැති බැවින් ද, සකස් කළ යුතු තැනක් නැති බැවින් ද, නිෂ්ඵලය වැඩිය කියා බැහැර කළ යුත්තක් නැති බැවින් ද, ඒ ධර්මයෙන් අපාය දුඃඛයෙන් සංසාර දුඃඛයෙන් මිදී සඟමොක් සැප ලැබීමේ නො වරදින ප්‍රතිපදාවක් දක්වන බැවින් ද, ඒ ධර්මය අනුව පිළිපදින්නවුන්ට ඒ පිළිපැදීමෙන් ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන් ම ලැබිය හැකි වන බැවින් ද ඒ ධර්මය ස්වාඛ්‍යාත ධර්මයක් වන්නේ ය. මෙතෙකින් දක්වන ලද්දේ පර්‍ය්‍යාප්ති ධර්මයාගේ ස්වාඛ්‍යාත ගුණය ය. පර්‍ය්‍යාප්තිධර්මය ස්වාඛ්‍යාත වන කල්හි ඒ ධර්මයෙන් දක්වන උසස් දෙය වූ නවලෝකෝත්තර ධර්මය ද ස්වාඛ්‍යාත වන්නේ ය. ධර්මයාගේ ස්වාඛ්‍යාත ගුණය විශුද්ධිමාර්ගාදියෙහි නොයෙක් ක්‍රමවලින් දක්වා ඇත්තේ ය.