භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගග්ගරා නම් පොකුණ සමීපයේ දහම් දෙසූ අවස්ථාවක ඒ පොකුණෙහි විසු මැඩියෙක් ගොඩ වී දහම් අසන පිරිස කෙළවර බුදුන්ගේ මිහිරි දහම් හඬට කන් දීගෙන සිටියේ ය. කෙවිටක් ද අතේ ඇතිව ගොපල්ලෙක් එහි පැමිණ සන්සුන්ව දහමට කන් දී සිටින මහ පිරිස දැක තෙමේ ද පිරිස් කෙළවරට ගොස් කෙවිට බිම හැණ එහි නැවතිණ. ඔහුගේ කෙවිට කොන පිහිටියේ බණට කන් දීගෙන සිටි මැඩියාගේ හිස මතය. ඌ එකෙණෙහිම මැරී බණට කන් දීගෙන සිටීමේ පිනෙන් තවුතිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක උපන්නේය. තමාට මේ මහත් වූ සම්පත්තිය කෙසේ ලැබුණේ දැයි විමසන්නේ බණ ඇසීමේ පිනෙන් ම ලද බව දැන ඉමහත් සතුටට පැමිණ කාරණය බුදුරදුන්ට දන්වනු පිණිස එකෙණෙහි ම විමානයත් සමඟ ම මිනිස් ලොවට අවුත් මහජනයා බලාසිටියදී ම සිය පිරිවරත් සමඟ විමානයෙන් බැස භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ තමා හඳුන්වා දුන්නේ ය. බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනය කළ සේක. මණ්ඩුක දේවපුත්‍ර සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඒ සමාගමයේ දී සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය.
(විමානවත්ථු)