76. මහානාග - චුල්ලනාග දෙනමගේ කථාව

හෙළදිව සෝනකගිරියෙහි වැසි තෙරුන් වෙත මහා නාග - චූල නාග යන සොහොයුරෝ දෙදෙනෙක් පැවිදි වූහ. ඔවුහු අවුරුදු සයක් ගත වෙන තුරු දෙමවුපියන් නො දැක්කාහ. රහත් බවට පැමිණි පසු දෙටුතෙරනම බාල තෙරුන් අමතා “අපි මවුපියන් බලන්ට යමු”යි කීය.

යහපතැයි පිළිගෙන දෙනම එක්ව සියගමේ පන්සලට අවුත් අසවල් ගෙදර අඹුසැමි දෙදෙන සුවසේ වසත් දැයි භික්ෂූන්ගෙන් විචාළාහ. එසේ යයි කී විට ඔවුහු අප්‍ර‍මාදීව කුසල් කෙරෙත්දැයි විචාළාහ. “එසේය, එක් නිත්‍ය බතක් දෙති. මැහැල්ලිය ආසනශාලාව හමදියි, පැන් ගෙනැවිත් තබයි, අසුන් පණවයි.” ඉක්බිති බාල තෙරනම එතැනින්ම හැරී යන්ට යෝජනා කළ නමුත් දෙටුතෙරනම “මා වැනි ශ්‍ර‍මණයන්ට වැඳීමෙන් උපස්ථාන කිරීමෙන් ඇඳිලි බැඳීමෙන් ඔවුහු මහත් පිනක් රැස් කර ගන්නාහ. එබැවින් පිණ්ඩපාතයේ හැසිරෙමින් ගොස් ඔවුන් බලමු”යි කීය.

ඒ කථාව ලෙස තෙර දෙනම පිඬු සඳහා යන ගමන් තමන්ගේ මවුපියන්ගේ ගෙදොරට ආහ. තෙරුන් දුටු කෙණෙහි මෑණියන්ගේ සිතේ පූර්වස්නේහය උපණි. ඕ දෙටුතෙරුන් වෙත ගොස් “ඔබමහානාගදැයි” ඇසීය. හෙතෙම “පස්සෙන් සිටින තෙරුන්ගෙන් විචාරව”යි කීය. ඒ තෙරුන්ගෙන් ද “ඔබ චූලනාගදැ”යි විචාළ විට “ඉස්සරහින් සිටිය තෙර කීවේ නැද්දැ”යි ඇසීය. මෙසේ දෙනමම තම මෑණියන්ට තමන්ගේ නම් නොකියා පිඬු පිණිස හැසිරෙමින් අන් ගමකට ගොස් “දැන් අප විසින් මවුපිය දෙදෙන දක්නා ලදහ”යි කීහ. උපාසිකාව ගෙයින් නික්ම තමා වසන ගමේ භික්‍ෂූන්ගෙන් “ස්වාමිවරුනි, අර දෙනම මාගේ පුත්‍රයෝදැ”යි විචාළාය. “ඔබගේ පුත්‍ර‍ බවක් නොදනිමු; මෙහි පැමිණ ඔබගේ තොරතුරුම අපෙන් විචාළාය”යි ඒ භික්‍ෂූහු කීහ. උපාසිකාව ඒ ඒ තැන සොයමින් යන්නී ගම් දෙක අතරේ යන එන්නන්ගෙන් විමසමින් එහා ගමට ගියාය. එකාසනික වූ ඒ තෙරදෙනම මේ ගමේ ඇවිද යන්නෙමුයි සිතා එගම්හි පිඬු පිණිස ඇවිද්දාහ. මැහැල්ලි තෙරවරුන් දැක මගේ ගෙට වැඩිය මැනවැ”යි කීය. බාල තෙරනම “ස්වාමීනි, උපාසිකාවකගේ කොටස පිළිගත මැනවැ”යි කී නමුත් වැඩි මහලු තෙරනම එහි යා නොහැකැයි කීය. උපාසිකාව ඇවිත් පළමු කොට වැඩි මහලු පුතාගේ පාමුල වැටී ඉක්බිති බාලපුතාගේ පාමුල වැටී දෙනම මැද පෙරළෙමින් විලාප කියා ඔවුන් නවත්වා ගත්තීය. පිරිනිවෙන කාලය දක්වා ඒ දෙනම එහිම විසූහ. මවගේ ගෙය විනාශ වූ විට කැලයෙන් ලී ගෙනවුත් ගෙය සාදා දුන්හ. මෙසේ මේ සස්නෙහි පැවිදිවූවෝ මව වෙත පැමිණියද හඳුන්වා නොදෙති. සොහොයුරු සොහොයුරියන් ගැන කියනුම කිම?