75. අම්බඛාදක තිස්ස තෙරුන්ගේ කථාව

බ්‍රාහ්මණතීයභය පවත්නා කල්හි එක් භික්‍ෂු නමක් සාගින්නෙන් පෙළී ඇවිදිනේ අඹ ගසක් වෙත පැමිණියේය. ඒ ගසේ ඉදුණු ගෙඩි බිම වැටී තිබුණ නමුත් පිළිගන්වන කැපකරුවකු නැති බැවින් එතුමා ඒවා නොවැළඳීය. එක් මිනිසෙක් එහි අවුත් අඹ අවුලන්ට පටන් ගති. තෙරනම ඔහුගෙන් අඹ ගෙඩියක් ඉල්විය. ඒ මිනිසා ඔබ විසින් මෙය රැගෙන අනුභව කරන්නට බැරි කමක් තිබේද? අදත් කැපකරුවන් සොයන්නෙහිද? මෙවැනි දුර්භික්ෂ කාලයකදී තමාගේ ජීවිතය රැකගත යුතුය. ශීලයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැ”යි අසා අඹ ගෙඩියක් නොදීම ගියේය. ඒ කර්කශ පුරුෂයා ගෙදර ගොස් අඹු දරුවන් සමඟ අඹ කමින් මේ ප්‍ර‍වෘත්තිය කීය. ඔහුගේ භාර්යාව ඒ කීම අසා ඔහුට නින්දා කොට “අහෝ අනාර්ය, පවිටු දෘෂ්ටි ඇත්ත, මෙවැනි භික්‍ෂු නමක් හැර දැමූ ඔබ හා මාගේ එක්ව විසීමක් නැතැ”යි කියා ගෙයින් නික්ම ගියාය.

එකල එක්තරා ශ්‍ර‍ද්ධාවත් සිල්වත් මිනිසෙක් ඒ අඹ ගස අසළට ආවේය. තෙරනම කෑරීමෙන් ශබ්ද කොට ඒ මිනිසා තමන් වෙත පෙන්වා ගත්තේය. හෙතෙම තෙරුන්ගේ පාත්‍ර‍ය ගෙන අඹ පානයක් සාදා තෙරුන්ට පිළිගැන් විය. තෙරනම නැගිටින්ටත් අසමර්ථ විය. එවිට උපාසකයා තෙරුන් කෙළින් කරවා තමාගේ ළයෙහි හොවාගෙන ඒ අඹ පානය පොවා ඉන්පසු තරමක් සුවපත් වූ ඒ තෙරුන් තමාගේ පිට මත්තේ හොවා ගෙන ගියේය. තෙරනම ඔහුගේ පිට මත්තෙහිදීම සංවේග උපදවාගෙන විදසුන් වඩා රහත් විය. උපාසකයා ද තෙරුන් රහත් වූ බව දැන ජීවිතාන්තය දක්වා තෙරුන්ට උපස්ථාන කළේය.