හෙළදිව මංගණවැසි බුද්දකතිස්ස තෙරුන් පිළිබඳ ප්‍රවෘත්තියයි. රජතෙම මංගණ පෙදෙසේ වසන ගම් ප්‍රධානියන් ගෙන්වා මා විසින් වැන්ද යුතු තෙරනමක් ගැන කියව්; ඒ තෙරුන්ට වැඳ පුදා දුගතියෙන් මිදෙන්නෙමි”යි කීය. මංගණ වැසි බුද්දකතිස්ස තෙර සිල්වත් රහත් නමකැ”යි ඔවුහු කීහ. එයැසූ රජ කෝටියක් පමණ පිරිස පිරිවරා ගෙන පස් යොදුනක් පයින්ම ගියේය. තෙරනම රජු එදා එන බව දිවැසින් දැක “රජ මා දැක මට සත්කාර කරන්නේය, මට මේ කලබලවලින් වැඩක් නැත: මා වෙත ගෙනා පිණ්ඩපාතයම ප්‍රමාණය”යි සිතා රජු මුළා කිරීම සඳහා අඳනය දණ දෙක සමීපයට වැටෙන සේ හැඳගෙන පලඟ බැඳ හිඳගෙන පහතට නැමී ලී කැබැල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය. රජතුමා පිරිස දුරින් සිටුවා තෙමේ තනිවම තෙරුන් වසන තැනට ගියේය. තෙරනම රජු ආ බව දැන දැනම හිස නොඑසෙව්වේය. රජතෙම තෙරුන් කියන ක්‍රියාව දැක මේ තෙමේ කර්මාන්ත කරන මහල්ලෙකි; අතේ කලබල ගතියක් අත් නොහැරියෙකැයි”යි කියා එතැනින් හැරී ගියේය.
තෙරනම “මා වැනියන් කෙරෙහි සිත දූෂණය කොට ගෙන අකුසල් රැස් කර ගන්නේ යයි ද රජු එයින් වැළැක්විය යුතුය”යි ද සිතා පිරිනිවි කල්හි කුළු ගෙය අහසින් නුවර යන සේ ද එයින් රජු පහදින ලෙස ද අධිෂ්ඨාන කෙළේය. තෙරුන් පිරිනිවි කල්හි මෘත දේහය කුළු ගෙයි තැබූ විට එය අහසට නැගී යන්ට පටන් ගත්තේය. මිනිස්සු පසු පස්සේ ගියහ. මිනිසුන් විසින් අත් ඔසවා ස්පර්ශ කළ හැකි තරමට එය අහසේ ගමන් කෙළේය; මෙසේ ගොස් ථූපාරාමය ඉදිරියෙහි වූ ගල්සෑය සමීපයට පැමිණිවිට ඒ ගල් සෑය අහසට නැගී තල් ගස් සතක් පමණ උඩ නැවතී සිටියේය. එසේ සිටිවිට මහාව්‍යග්ඝ තෙරුන්ගේ ශිෂ්‍යයෝ “ඔබ වහන්සේගේ මිත්‍ර වූ බුද්දකතිස්ස තෙර පිරිනිවියේ”යි ඒ තෙරුන්ට දැනුම් දුන්හ. ඒ වේලාවෙහි දම්සභාවෙහි සිටි ඒ තෙරනම විජිනිපත අතවැසි නමක් අතට දී අහසට නැගී ඒ කුළු ගෙට ඇතුල්ව එහි වූ දෙවෙනි අඳෙහි හෙව පිරිනිවියේය. පෙර භව වලදී ද මේ දෙනම මිත්‍රයෝ වූහ. බුද්දකතිස්ස තෙර පෙර ධර්මාශෝක මහ රජ වී යයි කියත්.
ඉක්බිති රජුට මේ කාරණය දැන ගන්ට ලැබී “අහෝ, මම තෙරුන් විසින් රවටන ලද්දෙමි”යි කියමින් නොයෙක් ආකාරයෙන් වැලපී කුළුගෙය මහත් සත්කාරයෙන් ගෙනෙන්නට සලස්වා ආදාහන කෘත්‍යය කරවිය. මෙසේ සත් පුරුෂයෝ ස්වකීය ගුණයෙන් තෘප්තියට පැමිණෙති.
(මේ කථාව මින් පෙරත් සංක්‍ෂිප්ත ලෙස මේ පොතේ දක්වන ලදි. එහි අඩු පාඩු පිරිමැසීමට මෙය අගට යොදන ලදැයි සිතමි. නැතහොත් 50 වෙනි කථාවෙන් මෙහා තිබෙන කථා දෙතිස අන්‍යයන් විසින් පසුව එක් කරන ලදැයි සිතිය හැක. මේ අග කොටසේ පරිච්ඡේද බෙදීමාදියක් නොපෙනේ.)
අතිශයෙන් දුර්ලභව නාමමාත්‍රාවශිෂ්ටව පැවති පාලි සිහලවත්‍ථුව සොයා ඉතා වෙහෙසකින් ශුඬ කොට සිංහලට නගන ලද්දේ අම්බලම්ගොඩ අග්ගාරාමාධිපති අග්ගමහා පණ්ඩිතොපාධිය ලැබූ පොල්වත්තේ බුද්ධදත්ත කළ්‍යාණිවංස නිකායේ ප්‍රධාන නායක ස්ථවිරයන් විසින් බු.ව. 2502 දී ය.