දකුණු විහාරය අසළ ගමෙහි එක් පවුලකට අයත් දාසයෙක් හවස්වරුවේ දී ස්වාමියාගේ වැඩ නො කොට විහාරයෙහි ඇති වැඩ කරමින් විසී. පසුව ස්වාමියා විසින් නිදහස් කරන ලද හෙතෙම පැවිදි වී මල් ගස් වවමින් මල් පුදමින් පින්කම් කෙළේය. එයින් ච්‍යුත වූ හෙතෙමේ ගෘහපතිකුලයක ඉපද සත් වරක් මහාධර්‍ම දේශනාවන් කරවිය. එයින් ච්‍යුතව ධනවත් පවුලක ඉපද සත් හැවිරිදි කල්හි පැවිදි විය. පැවිදිවීමට හිසකෙස් බානා කල්හි හෙතෙම රහත් විය. පැවිදි වූ දා ම ඔහු දෙසූ ධර්‍මය අකනිටා බඹලොව දක්වා සිටි දෙවියෝත් ශ්‍රවණය කළහ. ඔහුගේ මවුපියවරු දන් දෙනු කැමතිව භික්‍ෂූන් දහස් නමකට ආරාධනා කළහ. හෙරණනම “බොහෝ භික්‍ෂූන් දැක සිත් පහදා ගත මැනවැ”යි මවුපියන්ට කීය. ඔහුගේ පින් බලයෙන් කොපමණ භික්‍ෂූන් පැමිණියත් ආහාරවල අඩුවක් නොවීය.