චූලගිරි නිවැසි මහාධම්මනන්‍දි නමැති අවවාදදායක තෙරනම ගංගා දෙක දිගින් තුන් යොදුන් පමණ ඇති පෙදෙසක ධමකරකයක ප්‍රමාණ ඇති*[1] චෛත්‍ය දහසක් කරවා ඒ මුළු පෙදෙස පැතිරෙන සේ තැබීය. මේ තෙරනම (භාවනානුයෝගීන්ට) අවවාද දීමෙහි සමර්‍ථයෙකැයි අසා මාගම මහාවිහාරයේ වසන දොළොස් දහසක් භික්‍ෂූහු තුන් වරක් තෙරුන් වෙත (එහි පැමිණෙන සේ) දූතයන් යැවූහ. දූතයන් වශයෙන් ආ භික්‍ෂූහු රහත් බවට පැමිණ එහිම විසූහ. ඉන්පසු එක්තරා මහළු වී පැවිදි වූ නමක් දූතයා වශයෙන් යැවූහ. හෙතෙම ගොස් “ස්වාමීනි, රහත් භික්‍ෂූන්ගේ කීම පිළිනොපදින්නේ කුමක් හෙයින්දැයි ඇසීය. “මම ඔවුන්ගේ කීම කරමි; ඔවුන්ට මස් ලේ වුවත් දෙන්නට කැමත්තෙමි” යි කියා මහතෙරනම ඒ භික්‍ෂුවට දහම් දෙසීය. හෙතෙම රහත් බවට පත් වී ගියේය. දම්මනන්දි තෙරනමත් තිස්ස විහාරයට යන්ට පිටත් විය. ඒ යන අතරමගදී සැටවස් පිරුනු මහානාග තෙරනම රහත් නොවීම රහත්වීම යි සිතාගෙන විසූ බැවින් උන්වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, ඇතෙකු මැව්ව මැනවැ”යි තෙරුන්ට කීය. මහානාග තෙරනම (තමා ඉදිරියට එන) ඒ ඇතා දැක බිය පත්විය. එයින් තමා රහත් නොවීම රහත් යයි සිතා සිටින බව දැනගෙන නැවත විදසුන් වඩා එහත් බවට පැමිණියේය.
ඉක්බිති මාගම මහා විහාරයට පැමිණියේය. එහි දොළොස් දහසක් භික්‍ෂූහු විසූහ. එයින් සැට නමක් ත්‍රිපිටක ධරයෝ වූහ. ඒ තෙරවරු තවත් බොහෝ දෙනකුන් සමඟ ධම්මනන්‍දි තෙරුන්ගෙන් ප්‍රශ්න විචාළාහ. ඒ ප්‍රශ්න විසඳන විට පළමු දින දහස්නමක් රහත් වූහ, දෙදහස් නමක් අනාගාමී වූහ; තුන් දහසක් සෝවාන් ඵලය ලැබූහ. දෙවෙනිදා ඒ අනාගාමී දෙදහස්දෙන රහත් වූහ; තෙවෙනිදා තුන් දහසක් ශ්‍රොතාපන්නයෝ රහත් බවට පැමිණියහ.
(මේ මහතෙරුන්ගේ නාමය අටුවා පොත්වල දැක්වෙන්නේ ධම්මදින්න වශයෙනි. සිය ගණන් දහස් ගණන් කුඩා චෛත්‍ය සෑදීම ඉන්දියාවේ පවත්නා සිරිතකි. ඒ එක් එක් සෑය තුළ ධර්ම කොටස් ලියූ පත්‍රිකා දමා ඒ සියල්ල එක්කොට මහ සෑයක් බැඳ ධර්‍මචෛත්‍යයයි නම් කළ බව හියුංසියං මහ තෙරුන්ගේ භ්‍රමණාවෘත්තාන්තයෙහි කියවේ. ඒ සිරිත පූර්‍වයේදී ලක්දිවත් තිබුණ බව මේ කථාවෙන් පෙනේ. අන් පොත්වල පෙනෙන්නේ ධම්මදින්න මහතෙරුන් තලංගර (=තලගුරු) විහාරයෙහි විසූ බවයි. මෙහි චූලගිරියෙහි යය කියවේ. මෙය “මූලගිරි” විය හැකියි. එවිට තලගුරු වෙහෙර යයි නම ලැබූවේ මූලගිරි විහාරයම යයි සලකන්නට සිදුවේ. කෙසේ වුවත් මේ මූලගිරි හෝ තලංගරවිහාරය රුහුණු රටේ පිහිටියකි.)
-
මෙය පැන් පෙරන උපකරණයකි. අඟල් හයක් පමණ උසැති තේ කෝප්පයක් පමණ වටැති මෙහි කටේ රෙදි කඩක් බැඳ වතුරේ එබූ විට එය දියෙන් පිරේ. උඩ පැත්තේ ඇල්ලීමට මිටක් තිබේ. ඒ මිට මැද සිදුරක් වේ. ඒ සිදුර වැසෙන සේ ඇඟිල්ල තදකොට ඇල්ලූ විට රෙදි කඩෙන් වතුර නොවැගිරෙන බැවින් එය ඕනෑ තැනකට ගත හැක. එසේ ගෙන දියවත් කර තැබීමට පැතිලි කුඩා මැටි භාජනයක් ද තිබේ. එවැනි භාජනයක් මෙකල යුධ භටයන් වෙත දකින්නට ලැබේ. වැලිවිට සංඝරාජතුමාගේ දබරාව අදත් මල්වතු විහාරයේදී දැක්ක හැක. ↑