64. දුගී මිනිසාගේ කථාව

හෙළදිව ගම්වැසි එක් දුගී මිනිසෙක් මාරාන්තික වේදනාවලින් පෙළුණේ භික්ෂූන් පස්නමක් ගෙන්වා දනක් දුණි. එයින් සතුටට පත් හෙතෙම බිරිඳට කථාකොට “මාගේ වස්ත්‍ර‍ දෙකක් ඇත. මම එය අන්තිමදානය වශයෙන් පුදනු කැමැත්තෙමි; එය ගෙනෙව”යි කීය. “හිමියෙනි, ඔබ මළවිට මෘතශරීරය වැසීමට වෙන වස්ත්‍ර‍යක් නැතැයි” බිරිය කීය. එවිට ඒ මිනිසා “අඥාන ස්ත්‍රිය, මම ජීවිතාන්තය දක්වා මේ සිරුර සරසන්ට මහන්සි ගත් නමුත් එය කළ නොහැකි විය. මළකල්හි දිරාගිය ලීකඩක් වැනිවූ බලුකැනහිලුන්ට ආහාර වූ මේ සිරුරෙහි සැරසිය යුතු කමක් තිබේද? පින් කිරීම ඊට වඩා යෙහෙකැ”යි කියා එය ගෙන්වා ගෙන සංඝයාට පූජා කෙළේය. වස්ත්‍ර‍ තිබුණු පෙට්ටියෙහි තවත් වස්ත්‍ර‍ ජෝඩුවක් තිබෙනු දැක දෙවෙනි තෙරුන්ට දුණි. ඉන්පසු පහළ වූ වස්ත්‍ර‍ තෙවෙනි සිවුවෙනි පස්වෙනි තෙරවරුන්ට ද දුණි. විස්මයට පත් උපාසකයා බිරිය අමතා “සොඳුර ආශ්චර්යයක් බලව; බොහෝ කලක් වස්ත්‍ර‍ රැගෙන දුන්නත් වස්ත්‍ර‍යන්ගේ ක්‍ෂයවීමක් නොදකිමි. එබැවින් බුදුරදුන් විසින් “දදතො පුඤ්ඤං පවඩ්ඪති” යනාදිය දෙසන ලදි. දෙන්නාට පින වැඩේ.

ඉක්බිති අන්‍ය භික්ෂූන්ද ගෙන්වා වස්ත්‍ර‍ විකුණාගත් මුදලින් දන් සපයා වස්ත්‍ර‍ ද පිදීය, යම්යම් භික්ෂුනමක් සිවුරු සඳහා වස්ත්‍ර‍ කැමති වී නම් ඔවුන්ගේ පාත්‍ර‍ පුරවා වස්ත්‍ර‍ දුණි. මෙසේ දොළොස් දහසක් භික්ෂූන්ට වස්ත්‍ර‍ දෙන ලදි. ඉක්බිති රුහුණේ නිවැසි මහාපදුමතෙර ඔහුට දහම් දෙසීම සඳහා පැමිණියේය. උන්වහන්සේ චතුධාතුවවත්‍ථානය*[1] දෙසන විට උපාසකයා අනාගාමි ඵලයට පත්විය. ඔහුගේ බිරිය සෝවාන් ඵලය ලැබීය. උපාසකයා මැරී අකනිටාභවනෙහි උපන්නේය. උපාසිකාව පසුකලක මියගොස් ශක්‍ර‍යාගේ අගමෙහෙසි විය. රජතෙම උපාසකයාගේ කීම (අනාගාමී වූ බව) අසා මහත් සත්කාරයෙන් ආදාහනය කරවීය.

  1. පෘථිවි ආදි ධාතු සතරේ විස්තරය