63. මලයවාසී චුල්ලසුමනාවගේ කථාව

star_outline

සොහොයුරෝ සත්දෙනෙක් ද ඔවුන්ගේ භාර්යාවෝ සත්දෙනෙක් ද බාල සොහොයුරියක් ද වූහ. ඔවුහු සොරකම*[1] ද අන්කිසිවක් ද කොට කැලෑවේ හටගත් අලගෙඩි ආදියෙන් ජීවත්වූහ. එක් තෙරනමකට ද උපස්ථාන කළ ඔවුහු රාත්‍රියෙහි ආහාරයක් ලැබුණා නම් එයින් කොටසක් තෙරුන්ට දීම සඳහා තැන්පත් කළහ. එක්කලක සියුම් වස්ත්‍ර‍යක් ලැබ ඔවුහු “මෙය අපේ භාර්යාවන්ට යෝග්‍යය, නමුත් ඔවුන්ට දීමට ප්‍ර‍මාණවත් නොවේ. අපේ නැගණිය රුක් සුඹුලුවලින් වියූ පොත්ථියක්*[2] අඳියි. එබැවින් එය ඈට දෙමු”යි කථා කොට වස්ත්‍ර‍ය නැගණියට දුන්හ. ඕ එය අඳින්ට පටන් ගති. ඔවුන්ගේ කුලුපග තෙරනමගේ සිවුරද ජරාපත්ව තිබුණි. නමුත් වස්ත්‍ර‍ ලබාගත හැකි පිළිවෙළක් ඇති නොවීය. තෙරනම ගෙදොරට ඇවිත් ඇය ඉදිරියෙහි සිටි විට ඕ තොමෝ පරණ ඇඳුම ගෙනැවිත් තෙරුන් ඉදිරියෙහි තැබීය. “භික්ෂූන්ට රුක් සුඹුලු වස්ත්‍ර‍ අකැපය”යි තෙරුන් කී විට ඕ තමාගේ පරණ පොත්ථිය ඇඳගෙන අලුත් වස්ත්‍ර‍ය තෙරුන්ට පිදී.

එසේ වස්ත්‍ර‍ය පිදූ ඕ සොහොයුරන් තර්ජනය කරනවා ඇත යන බියෙන් තමන් විසූ පැල්පතෙන් පිටවී ගොස් වනයට ඇතුල්ව විසී. සොහොයුරෝ හවස් වී ඇවිත් සුමනාව කොහිදැයි සිය බිරියන්ගෙන් ඇසූහ. “තෙරුන්ට අලුත් වස්ත්‍ර‍ය දී ඔබට බියෙන් සැඟවී සිටින්නීය”යි කීවිට “අපිත් තෙරුන්ට දෙන්ට කැමතිව සිටි නමුත් නැගණියට වස්ත්‍ර‍යක් නැති බැවින් ඈට දුනිමි. ඉදින් තෙරුන්ට දෙන ලද්දේ නම් අපි එය අනුමත කරමු”යි ඔවුහු කීහ. ඒ කීම ඇසීමෙන් තරුණිය සැනසීමට පත්විය. එක්තරා දේවතාවක් මෑ කළ අපහසු ක්‍රියාව දැක මහපසුම්බියක දිව්‍ය වස්ත්‍ර‍ පුරවා එය ඈ නිදන ලෑලි තට්ටුවේ හිස පැත්තේ තැබීය. ඇතැම් කෙනෙක් සක්දෙව් රජ එසේ කෙළේයයි කියත්. ඕ ගෙට ඇතුල් වී ලෑලි තට්ටුවෙහි නිදන්නී හිසපත්ත අතගා පසුම්බියත් එහි තිබුණු වස්ත්‍ර‍ත් දැක සොහොයුරන් ද ඔවුන්ගේ බිරියන් ද නැගිටුවා එය පෙන්වීය. ඔවුහු එයින් කැමතිතාක් වස්ත්‍ර‍ ගත්හ. තෙරුන්ට ද වස්ත්‍ර‍ දුන්හ. තෙරුන් වෙත ආ අන්‍ය භික්ෂූන්ට ද දුන්හ. දිරාගිය තුන්සිවුරු ඇති භික්ෂූන්ට තුන්සිවුරට සෑහෙන තරම් වස්ත්‍ර‍ දුන්හ. ඒ කාරණය ප්‍ර‍කට වීමෙන් සද්ධාතිස්ස මහරජුට දැනගන්ට ලැබී රජතුමා මිනිසුන් යවා ඇය ගෙන්වා ප්‍ර‍වෘත්ති විචාරා ඇය තමාගේ පාදපරිචාරිකාවක් බවට පත් කෙළේය.

ඕ දිව්‍යවස්ත්‍ර‍වලින් මහසෑය වසා කොඩි ද නැංවීය. ඒ කොඩි ඈ ජීවත්ව සිටිනතාක් පැවැත්තාහ. ඒ සොහොයුරෝ තෙරුන් වෙත පැවිදිව කමටහන් ගෙන රහත්බවට පැමිණියාහ. කුමරිය සෝවාන් ඵලය ලැබී. ඇගේ මරණාසන්න කාලයෙහි දිව්‍යරථයන්ගේ පැමිණීම පෙර මෙන් විස්තර කළ යුතුය.

  1. චොරිකායි පාළිපොතේ පෙනෙන බැවින් මෙසේ සිංහලට නගන ලද නමුත් ඒ වචනය සැක සහිතය.

  2. පොත්‍ථිය කුමක්දැයි හරිහැටි තේරුම් ගත නොහැක. කිඳුරියන් පිළිබඳ කථාවෙහිත් මෙය පෙනේ. ගවොමක් වැනි එකකැයි සිතමි.