65. තරුණ භික්ෂුණීන් දෙදෙනගේ කථාව

star_outline

හෙළදිව කම්පුව ගම*[1] තරුණ මෙහෙණියෝ දෙදෙනෙක් ගගේ නෑමට ගියහ. නාන්නා වූ ඒ දෙදෙනගෙන් එක් මෙහෙණක් කිඹුලෙක් අල්වාගෙන ඉවුර අසලින් ඇදගෙන ගියේය. දෙවෙනි මෙහෙණිය කෑගසන්ට පටන් ගති. ඇතැම් මිනිස්සු බියෙන් පලා ගියහ. එක් මිනිසෙක් ඉදිරියට අවුත් “ආර්යාවෙනි, මේ කිමෙක්දැ”යි ඇසී. ඇය වහා ගොඩට ඇවිත් “කිඹුලෙකු විසින් ඕ අල්වා ගන්නා ලදැ”යි කීය. “ආර්යාවෙනි, භය නොවෙනු මැනවි; මම ඇය මුදවන්නෙමි”යි කියා කිරිච්චිය අතට ගෙන දියට බැස්සේය. කිඹුලාට අසු වූ භික්ෂුණිය කිඹුල්කටෙහි කම්පා වෙමින් මේ මිනිසා මා මුදවාගන්ට එන්නේ යයි දැන “මට ජීවිතයට වඩා බුදුන් පැණ වූ ශික්ෂාපදය රැකීම මැනවැ”යි සිතා උපාසකය, මා වෙත නො එව, මා ස්පර්ශ නොකළ මැනවැ”යි කීය.[2] ඒ කීම සමගම කිඹුලා භික්ෂුණිය අත්හැර දියෙහි ගිලුණි. පීනා ගිය මිනිසා ඇගේ පැත්තකින් සිටියේය. ඈ ගොඩට ඇවිත් එහිම නැවතී භාවනා කොට රහත්ඵලයට පත් විය. ඉතිරි භික්ෂුණිය බොහෝ දුර පලාගිය නමුත් ගංඉවුරේ සිටගෙන දුකට පත් යෙහෙලිය දැක නැවත හැරී ආය. මෙහිදී තුවාල ලැබූ භික්ෂුණියට මහත් වේදනා ඇති වූ නමුත් පුරුෂයන් විසින් ඔසවා ගෙනයනු ලැබීමට නො කැමතිව අහසට නැගී ගියහ. (මේ අවසාන කොටසේ පාළිය බොහෝ ව්‍යාකූල බැවින් නිවැරදි පරිවර්තනයක් දිය නොහැක. යන්තමින් අදහස දක්වන ලදි).

  1. කපුගම විය හැක.

  2. පුරුෂයකු ස්පර්ශ කිරීමෙන් භික්ෂූණියක් පාරාජිකාපත්තියට පැමිණේ. එබැවින් මෙසේ කියන ලදි.