62. බුද්දක තිස්ස තෙරුන්ගේ කථාව

star_outline

වනවැසි බුද්දකතිස්ස තෙරනම තරුණ කාලයේදීම රහත් බවට පැමිණියේය. එතුමා “ඉදින් මම නගරයක හෝ ගමක වසන්නෙම් නම් ඉගැන්වීම් ආදි පලිබෝධ ඇතිවන්නේය. එබැවින් වනයක ගොස් වසන්නෙමි”යි සිතා ආරණ්‍යගත විය. එකම පවුලක් තෙරුන්ට තිස් අවුරුද්දක් උපස්ථාන කෙළේය. තෙරනම තමාගේ ආයුෂ පවත්නා ප්‍ර‍මාණය බලා ගෘහපතියාට “අද ඔබ පමණක් විහාරයට යා යුතුය; අන්‍යයන් නොයා යුතුය”යි කීය. “ස්වාමීනි ඔබ වහන්සේ කියන දෙයක් කරන්නෙමි”යි කී විට එසේ නම් වෑය ද පොරොව ද රැගෙන එවයි තෙරනම කීය. ගෘහපතියා ඒ කී සේ විහාරයට ගියේය. තෙරනම දර කපා ගෙනවුත් ගලඋඩ ගොඩගසව යි කී විට උපාසකයා එසේ කෙළේය.

තෙරනම මැටිපාත්‍ර‍ය ලෑලි ඇඳයට නවා තබා ගණ්ඨිය ගැටගසා ඒ ලෑලි තට්ටුව මත්තේ පලඟ බැඳ හිඳගෙන පිරිනිවියේය. උපාසකයා මැදරැය දක්වා දර කපා මහත් දරගොඩක් ගසා නොකල්හි ගමට යා නොහැකැයි සිතා වනමෘගයන්ට භයින් තෙරුන්ගේ කුටියටම ඇතුල් වී නිදා ගත්තේය. මධ්‍යම රාත්‍රියේදී තෙරනම පිරිනිවියේ යි දේවතාවෝ මිනිසුන්ට දැන්වූහ. මිනිස්සු කල් ඇතිවම ආදාහනෝත්සවය පැවැත්වීම සඳහා මල්-සුවඳ-වස්ත්‍ර‍ ආදිය රැගෙන පිටත් වූහ. උපාසකයා ද උදෑසනින් නැගිට තෙරුන් පිරිනිවි බව නොදැන ආශ්‍ර‍මයෙන් පිට වී තෙරනම සුදුසු කාලයේදී ගෙදොරට එනවා ඇතැයි සිතමින් සිය නිවස දෙසට ගියේය. ඒ යන හෙතෙම අසපුවට යන මිනිසුන් දැක “කොහි යව්දැ”යි විචාරා තෙරුන්ගේ ආදාහනය කිරීමට යන්නෙමු”යි කී විට “තෙරනම ජීවත්ව සිටී; මම දැන් එතැන සිට එමි”යි උපාසකයා කීය. “ඔබ නොදත්තෙහි”යයි කියමින් මිනිසුන් ඒ දෙසටම යනවිට සැක සිතූ හෙතෙම එසේත් විය හැකැයි කියමින් මිනිසුන්ගේ ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් තෙරුන්ගේ ආස්වාස ප්‍රාස්වාසයන් නැති බව දැන මුලින් කපා දැමූ ගසක් මෙන් බිමවැටී හඩන්ටත් පෙරළෙන්ටත් පටන්ගෙන “අවුරුදු තිහක් උපස්ථාන කළ මට නොදන්වා කිසිවක් නොකියා පිරිනිවියේය”යි විලාප කීය.

ශක්‍ර‍ තෙමේ විශ්වකර්මයා ලවා දොරටු පසක් ඇති කුළු ගෙයක් මවා නන් අබරණින් සැරසුණු දේවතාවන්ට එය ඔසවාගන්ට සලස්වා කැපකරු උපාසකයා විසින් ඔසවන ලද මෘතදේහය කුළුගෙයි තබ්බවා සත්දවසක් පූජෝත්සව පැවැත්වීය. නැවත තුන්දිනක් මුළුල්ලේ දිවසඳුන් සුණු ද මදාරා - කොබෝලීල - පරසතු මල් ද අහසින් වැටීමෙන් කුළුගෙය හාත්පස යොදුන් තුනක පෙදෙස වැසී ගියේය. යම් යම් ගස් කොඩි දරන්නට තරම් ශක්තිමත් වූවාහු නම් ඒ ගස්වල දිව්‍යවස්ත්‍රයෙන් සෑදූ කොඩි එල්වන ලදහ. දිව්‍යතූර්යනාදයෝ පැවැත්තාහ. දෙවියෝ මිනිසුන්ට පෙනෙමින් සිටියාහ. සත්දිනක් මුළුල්ලේ සාපිපාසාවක් හෝ මලමුත්‍ර‍ පහකිරීමක් හෝ නොවීය. දරසෑයමත්තෙහි සඳුන් සුණු විසුරුවා ගිනි දැල්වූහ. මෙසේ දෙවිමිනිස්සු එතුමන්ට මහත් සත්කාර සම්මාන දැක්වූහ.

ඒ තෙරුන්ගේ පූර්වකර්මය මෙසේයි:- මින් පෙර භවයකදී හෙළදිව උපන් හෙතෙමේ ගොපලු දරුවෙක් විය. ගවයන් රැකි හෙතෙම වැලිවලින් චෛත්‍යයක් සාදා නොයෙක් වනමල් එක්කොට එයට පුදා උණකිලිල්වලින් කොඩි සාදා බැඳ බටලී නලාවක් පිඹ තමාගේ බඩ බෙරයක් මෙන් සිතා වාදනය කෙළේය. ඒ උණකිලිල්කොඩිවල විපාකයෙන් දිව්‍යමය කොඩි පහළ වූහ. බටලි නලාව පිඹීම නිසා දිව්‍ය තූර්යනාද ඇති වූහ. මල් පිදීමේ අනුසසින් දිව්‍යමය මල් වැටුණාහ.