නාගදීපයෙහි දුර්භික්ෂයක් ඇතිවූ කල්හි අඹුසැමි දෙදෙනෙක් ද දුව ද ජීවත්විය නොහැකිව දුව උකසට තබා කෙළෙඹියකුගෙන් කහවණු සතළිසක් ගත්හ. මාතුදේවිකා නාගී නමැති ඒ දුව නිසා මවුපිය දෙදෙන සුවසේ විසූහ. ඈ ඒ ගෙයි බැලමෙහෙ කරමින් සිටින කාලයෙහි ඒ ගමට පෘථග්ජන කල්‍යාණයෝ වූ*[1] සැටනමක් භික්ෂූහු පිඬු පිණිස ඇතුල් වූහ. එ වේලෙහි නාගිනිය පැන් ගෙන ඒම සඳහා වැවකට යන්නී ගමේ ඇවිද කිසිවක් නොලැබ අවුත් පාත්‍ර පසුබිම්වල දමන ඒ භික්ෂූන් දිටී. ඈ එහි අවුත් කරුණු විචාළ විට ඒ භික්ෂූහු ඇති තතු කීහ. ඒ දැරියට “රෑ වැඩ කිරීමට පොරොන්දු වී තවත් කහවණු සැටක් ගෙන මේ භික්ෂූන්ට දන් දෙන්නෙමි”යි සිතක් උපණි. එසේ සිතා කාලය භික්ෂූන් වෙත තබා මා හැරී එනකල් නැවතී සිටිය මැනවැ යි කියා තමා වසන තැනටම ගොස් “ස්වාමිවරුනි, මට කහවණු සැටක් ණයට දුන මැනවැ”යි කීය. ගෙහිමියා “තී අනුන්ගේ මෙහෙකාරියක්ව සිටගෙන ටිකෙන් ටික ණය ගෙවන ගමන් තවත් ණය ගන්නේ කුමක් හෙයින්දැ”යි විචාළේය. “ඔබ මේ ගැන නොසිතනු මැනවි. රාත්‍රි දාසියක් වී රෑ වැඩ කොට ඒ කහවණු සැට ගෙවන්නෙමි”යි ඕ කීය. හෙතෙම ලියවිල්ලක් ලියා ඈට කහවණු සැටක් දුණි. ඕ එක් එක් ගෙයකට කහවණුව බැගින් දී එක් එක් භික්ෂු නමට කහවණුව බැගින් වටිනා දානය සම්පාදනය කළ මැනවැයි කියා ඒ භික්ෂූන් අසුන්හලකට පමුණුවා මේ සියලු ප්‍රවෘත්ති භික්ෂූන්ට කීය. සංවේගයට පත් භික්ෂූහු ඒ පිණ්ඩපාතය පිළිගෙන පිටත ගොස් විලක් සමීපයට පැමිණ පාත්‍ර පැත්තකින් තබා භාවනා කරන්ට පටන් ගත්හ. “ඉදින් රහත්පලයට පැමිණිය හැකි නම් අනුභව කරන්නෙමු; නොහැකි වී නම් අනුභව නොකන්නෙමු”යි අධිෂ්ඨාන කොට භාවනා වැඩූ ඒ භික්ෂූහු නොබෝ වේලාවකදී රහත්බවට පැමිණ ආහාර අනුභව කළහ. එදා රෑ හෙළදිව හැම දෙවියෝ සාධුකාර දුන්හ යනාදිය පෙර මෙනි. රජ තෙම ඒ නාගදීපය ඒ ස්ත්‍රියට දුණි. ඕ මහදන් දී මරණින් මතු සුගතියට පත් විය.
-
මාර්ගඵල ලැබීම සඳහා පිරිසිදු සිල් රකින පුද්ගලයෝ ↑