58. සඳුන් පලඟේ කථාව

බුද්ධකාලික වූ මේ කථාව බුදුරදුන්ගේ මහත්වය දක්වයි. නාගදීපයේ ගොඩ නාරජ මූදේ නා රජකගේ දුවක් සරණ පාවා ගති. මූදේ නා රජ ඒ දුවට දායාද වශයෙන් ඉතා වටිනා රත් සඳුන් පුටුවක් දුණි*[1]. කලක් ඇවෑවෙම්න නාග කුමරියගේ පියා මළේය. ඔහුගේ පුත්‍ර‍යා “සඳුන් පලඟ මට දිය යුතුය”යි කියමින් ස්වකීය මස්සිනා වෙත හස්නක් යැවීය. “මාගේ පලඟ නොදෙමි”යි ඔහු කී බැවින් දෙදෙනා අතර යුද්ධයක් ඇති විය. ගොඩවැසි නාගයෝ මූදු නාග භවනය ගොඩක්ම කරන්නෙමුයි කීහ. මූදු නාගයෝ “ගොඩ නාගභවනය මූදක් කරන්නෙමුයි” කීහ. එකල භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාඥානයෙන් මේ කාරණය දැක දවල් දානය වලදා නාගයන් හික්මවීම පිණිස නාගදීපයට අහසින් වැඩි සේක. පෙර නාගදීපයේ ඉපද සිට එකල ජේතවනය ඉදිරියෙහි වූ පලොල්ගසක විසූ දේවතාවෙක් “බුදුරජ අපගේ දිවයිනට වඩින්නේය”යි දැන් ඒ පළොල් ගස බුදුරදුන්ට ඡත්‍ර‍යක් කොට ගෙන උන්වහන්සේ සමග බැස්සේය. ඒ ගසක් එහිම පිහිටුවන ලදි.

බුදුරද අහසට නැගී අන්ධකාරයක් මැවීය. එය ලෝකාන්තරික අන්ධකාරයට සමාන විය. එය දැක බියපත් නාගයෝ ආයුධ හැර දැමූහ. වධක සිත් ද යටපත් කරගත්හ. ඉක්බිති බුදු රද නරකය පෙන්වා දිව්‍ය ලෝකයත් පෙන්වීය. මෙසේ බුදු රදුන් විසින් නාගයෝ දමනය කරන ලදහ. යම් තැනකට බුදු රද බැස්සේ නම් එතැන පාටලීසෑය නමින් ද අන්ධකාර සෑය නමින් ද ආලෝක සෑය නමින් ද ප්‍ර‍කට විය. පළොල් ගසේ බාගයක් ගොඩ නාගයන්ට ද අනික් භාගය මූදු වැසි නාගයන්ට ද අයත් විය.

  1. මෙය චුලොදර - මහොදර දෙදෙනාගේ කථාවම බව පෙනේ. අන් පොත්වල මිනිපලඟක් කියවෙතත් මෙහි කියවෙන්නේ රත් සඳුන් පුටුවකි.