51. පිණ්ඩපාත විශුද්ධිය

හෙළදිව දුර්භික්ෂ කාලයක අඹුසැමි දෙදෙනෙක් ජීවත් විය නොහැකිව දිය දියණිය කහවණු දොළසක් ගැනීම සඳහා උකසට තැබූහ. දුර්භික්ෂ කාලය ගෙවුණු පසු පිය තෙමේ අනුන්ගේ බැලමෙහෙ කොට කහවණු අටක් ද ධාන්‍ය පෙට්ටියක් ද ලැබ ගැල් සමූහයක් සමඟ මාගමට ගියේය. ඔහු වෙත ආහාරයක් නොතිබුණි. ඒ ගැල් සමූහය සමඟ යන එක් භික්ෂුනමකට දන්වේලාව පැමිණි නමුත් දානය දෙන්නෙක් නොවීය. “මේ භික්ෂුනමට ආහාරයක් දෙන්නෙමි”යි සිතක් ඒ උපාසකයාට පහළ විය. හැමතැන අහර සොයා නොලැබ එක් මිනිසෙකු වෙත තිබුණු බත් මුලක් දැක “මෙය අඩ කහවණුවක් ගෙන මට දෙව”යි කීය. ඒ මිනිසා දෙන්ට නොකැමති විය. උපාසකයා ගණන වැඩිකොට ඉල්වමින් තමා වෙත තිබුණු කහවණු සියල්ල ද ධාන්‍ය පෙට්ටියද දී ඒ බත්මුල ගෙන භික්ෂුනම වෙත ගොස් ඒ සියලු පුවත් කියා එය ඒ භික්ෂුනමට පිරිනැමීය. භික්ෂු නම පිළිගන්ට නොකැමති විය. හෙතෙම නැවත නැවත යාඥා කොට පිළිගැන්වීය. එය පිළිගත් භික්ෂු නම “මම රහත්ඵලයට පැමිණෙන තුරු මෙය අනුභව නොකරන්නෙමි”යි ඉටාගෙන භාවනා වඩා රහත් වී එය වැලඳුවේය.

උපාසකයා ගෙට ගොස් මේ ප්‍ර‍වෘත්තිය තමාගේ දුවට කීය. ඈ එයසා සතුටට පත්විය. ඉක්බිති සද්ධාතිස්ස මහරජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා “අහෝ, අති දුෂ්කර දෙයක් කරන ලදැ”යි සාධුකාර දුණි. ඒ ශබ්දය ඇසූ රජ “මාගේ දානයට සාධුකාර දෙන්නෙහිදැ”යි ඇසී. ඔබට නොවේ යයි කී දේවතාවා ඒ කාරණය දැනුම් දුණි. එවිට රජතුමා මහත් සත්කාරයෙන් ඇය ගෙන්වා තමාගේ ලේලි තනතුරෙහි තැබීය. බොහෝ ධනය ද දුන්නේය.