52. සැට නමක් භික්ෂූන්ගේ කථාව

හෙළදිව රජ ද රාජදේවිය ද එක් දිනක් මධ්‍යම රාත්‍රි කාලයෙහි මෙසේ සිතූහ: “රාජ්‍යයෙහි පිහිටි අප විසින් දන්දීම අපහසු කරුණක් නොවේ. අපි අප්‍ර‍කට වේශයෙන් ගොස් බැලමෙහෙ කොට දනක් දෙන්නෙමු නම් යෙහකැ”යි. මෙසේ සිතා රාජ්‍යය අන්‍යයන්ට බාර දී එක් ගමකට පැමිණ එහි ගෘහපතියකුගේ ගෙයි මසක් පමණ නැවතී රජතුමා කුඹුර සී සෑවේය; දේවිය වී කෙටීය. ඔවුන්ගේ අත්වල කරගැට සැදී බිඳී ගියහ. ඉතා සියුමැලි ඔවුහු මසකට වඩා වැඩ කළ නොහැකිව ඒ මාසයේ කුළිය ගෙන හැරී අවුත් තමන්ගේ ආචාර්ය තෙරුන් වෙත පැමිණ “ස්වාමීනි, අපේ දානය පිළිගැනීමට සැටක් පමණ පෘථග්ජන භික්ෂූන් එව්ව මැනවැ”යි කීහ. තෙරනම එසේ කෙළේය. ඒ අඹුසැමි දෙදෙන ව්‍යඤ්ජන සතරක් පිළියෙළ කොට පැණි-මීපැණි-ගිතෙල් ආදියෙන් යුත් ආහාරයක් වලඳවා අවසන්හි ඒ භික්ෂූන් ඉදිරියට අවුත් “අපේ අත් බැලුව මැනවැ”යි කියා සියලු ප්‍ර‍වෘත්තිය කීහ. මෙයින් සංවේගයට පත් භික්ෂූහු ආචාර්ය තෙරුන් වෙතින් කමටහන් ගෙන භාවනා කොට එදා රෑම රහත් බවට පැමිණියහ.