49. මහසෑ පූජාවේ කථාව

star_outline

හෙළදිව විසූ සද්ධාතිස්ස මහරජුට “මහසෑයට අසමාන පූජාවක් කරන්නෙම් නම් යෙහෙකැ”යි සිතක් උපණි. මාරයාටද ඒ පූජාව මම වළක්වන්නෙමි යි සිතක් උපණි. මේ රජ මාගේ මාරවිෂය ඉක්මවන බැවින් එයට අන්තරාය කළ යුතු යයි මාරයා සිතී. ඉක්බිති එක් භික්ෂුනමක් විසින් මාරයාගේ අදහස භික්ෂූන්ට දැනුම් දෙන ලදි. භික්ෂූහු තුවටකනාග නමැති තෙරුන් වෙත ගොස් මාරයාගේ අදහස නිරර්ථක කරන සේ ඉල්ලා සිටියාහ. ඉක්බිති තෙර නම අහසෙහි යොදුන් සියයක් තැන වැස්මක් යොදා ගණන් කළ නොහැකි තරම් වූ පහන් ආරක්ෂා කෙළේය. අහස උපුල් පෙතිවලින් වසන ලද්දක් මෙන් විය. එහි එක් එක් පහන් ගසක අතු දහසක් විය. යොදුනක් පමණ තැන බොහෝ ලක්ෂගණනක් පහන් ගස් වූහ. තිසා වැවේ ජලයෙහි නොයෙක් සුවඳ වර්ගයන් බහා ඒ ජලය සුවඳ පැන් කොට යන්ත්‍ර‍වලින් අහසට ගොස් මහසෑයේ වැගිරෙන්ට සැලැස්වීය. මෙසේ සති හතක් රජුගේ ඒ අසදෘශ පූජාව පැවැත්වීය.

එකල සෑගිරියෙහි මහත් සෘද්ධ්‍යනුභාව ඇති තෙරනමක් විසී. ඒ තෙරුන්ගේ සක්මනේ පැත්තක සිපණ්ණගසක මල් පිපේ. එක් ළමයෙක් ඒ මල් අවුලා තෙරුන්ට දුණි. තෙරනම ඒ ළමයා සමග ඒ මල් පිදීම සඳහා මහසෑය වෙත ගියේ යොදුනක් පසු බැස මල් පුදන්ට අවකාශ ලැබී. ඒ බාලයා අචින්ත්‍ය වූ චෛත්‍ය පූජාව දැක අහෝ ආශ්චර්යයකි. මහරජුගේ පූජාව අතිවිශාලය. මගේ පූජාවෙන් කුමක් ලැබෙන්නේදැ”යි සිතී. තෙරනම කුමාරයාගේ සිත දැන “බාලය, තාගේ පූජාව රජුගේ පූජාවට වඩා මහත්ඵල ඇත්තේය”යි කීය. කුමරා එයසා සතුටුව ඒ වචනම කියමින් ඇතුල් වී ත්‍රිවිද්‍යා ඇත්තෙක් විය. ඉක්බිති තෙරනම “දැන් තා විසින්ම තමාගේ පූජාවේ විපාක දන්නා ලද්දේදැ”යි විචාළේය. “ස්වාමීනි, දැන් මම දනිමි”යි කුමරා කීය.