47. කම්බිලිය සොරාගත් කථාව

සිංහල ද්වීපයේ එක් ඇමතියෙක් රජුගේ ප්‍රිය මිත්‍රයෙක් විය. ඔහුට නිතර අන්තඃපුරයට ඒමට රජු අවසර දී තිබුණි. එක්කලෙක ඒ රජුගේ ජනපදයක කැරැල්ලක් හටගති. රජතුමා එය සංසිඳවීමට ඒ ඇමතියාට නියම කෙළේය. රජු විසින් අණවන ලද හෙතෙම එහි ගොස් කිසිවක් කරන්ට අසමර්ථ වූ බැවින් එහිම නැවතී සිටියේය. දොළොස් අවුරුද්දක් ඇවෑමෙන් දාමරිකයන් පරදවා රට සාමයෙහි තබා “මා විසින් දාමරිකයෝ යටත් කරන ලදහ”යි රජුට පණිවිඩයක් යැවීය. එවිට සතුටු වූ රජ “මා හා සමාන ස්ථානයෙහි තැබිය යුතුය”යි සිතා ඔහු කැඳෙව්වේය. හෙතෙම අනියම් කාලයෙහි ඇවිත් රැය මුළුල්ලේ ඇතුළු නුවර රකිමින් සිටියේය. රැය මුළුල්ලේ සිටි ඔහු දැක රජතුමා සත්රුවනින් පූජා කෙළේය. තමා හා සමාන ස්ථානයෙහි තබා බොහෝ ධනය ද දුණි. තමා ද සැපසේ ජීවත් වී මා ද ආරක්ෂා කරවයි කියා ජනපදයක් ද දුන්නේය.

ඉක්බිති ඒ ඇමතිතෙමේ තමාගේ ගෙදොර කොඩියක් ඔසවා නගරයෙහි ද ජනපදයෙහි ද වසන භික්ෂූන්ට හා භික්ෂුණීන්ට මෙසේ දැනුම් දුණි; “යම් යම් කැපදෙයකින් ස්වාමීන්වහන්සේලාට ප්‍රයෝජනයක් ඇත්නම් ඒ සියල්ල ගෙනයනු ලැබේවා; මා විසින් ඒ සියල්ල පරිත්‍යාග කරන ලද්දේය”. භික්ෂු සංඝයා ඔහුගේ ගෙට පැමිණ දන් වලඳයි. ඒ ගෙයි එක් ආසනයක ලක්ෂයක් වටිනා කම්බිලියක් ඇතිරිල්ලක් වශයෙන් එළා තිබුණි. එහි වාඩිවී නැගිටින එක් භික්ෂුනමක් විසින් ඒ කම්බිලිය ගන්නා ලදි. උපාසකයා එය දැක කිසිවක් නොකීවේය. ඉක්බිති අඹුදරුවෝ “අසවල් භික්ෂුනම විසින් කම්බිලිය ගන්නාලදැ”යි ඔහුට කීහ. “මා දී තිබෙන දෙයක් ගත් විට තෙපි කුමක් කියව්දැ”යි උපාසකයා කීය.