46. චීනයට ගිය භික්ෂූන්ගේ කථාව

සිංහල ද්වීපයේ තෙතිස් නමක් භික්ෂූහුද අන්තරද්වීපයෙහි වසන රහත් සතර නමක් දැයි සත් තිස් නමක් භික්ෂූහු චෛත්‍යයන් වඳිනු කැමතිව මහාකොණ්ඩපටුනෙහිදී නැව් නැගී මූදින් එතෙර වූහ. ඒ පිරිස පිළිවෙළින් (මහාබෝධිය, කුසිනාරාව ආදි උතුම්) චෛත්‍යස්ථාන සතර වැඳ බුදු රදුන්ට ගෞරව දක්වා තවත් එහාට යන්නාහු චීන රටට පැමිණ එහි අගනුවරට ඇතුල් වූහ. ඒ අවස්ථාවෙහි රජතුමා සිවුවේදය දත් බමුණන් සමග මහාවීථිය දෙස බලන්නේ ෂඩෙන්‍ද්‍රියයන් හික්මවූ සන්හුන් කය-වචන හා සිත් ඇති ඒ භික්ෂූන් දුටුවේය. රජු ඔවුන්ට පැහැදුණු බව දුටු බමුණෝ “ඒකාන්තයෙන් මේ රජ මොවුන්ට සත්කාර කරන්නේය. එබැවින් රජු ලවා මොවුන් මැරවීමට උපක්‍ර‍මයක් යෙදිය යුතුය”යි සිතූහ. ඉක්බිති ඔවුහු රජුට මෙසේ කීය: මහරජ, මොවුහු ඉතා දරුණු ඔත්තුකාරයෝ හෙවත් චරපුරුෂයෝය. ඔබගේ රාජ්‍යය විනාශ කිරීමට සමර්ථ වූ මොවුහු භික්ෂුවේශයෙන් එති. ඔබට අනතුරක් කරන්ට පළමුවෙන් ඔවුන් දුරුකළ මැනවැ”යි. රජතුමා පරීක්ෂණයක් නොකොටම “මොවුන් අල්ලා උල හිඳුවව්” යයි රාජ පුරුෂයන්ට අණ කළේය.

ඉක්බිති සියලු දෙන අල්වා බැඳ උල හිඳුවීම සඳහා සොහොනකට ගෙන ගියහ. මිලක්ඛ දේශයෙහි*[1] වැස පෙර දඬුවමකට යටත් වූ මිනිසෙක් එකල චීනයට ඇවිත් විසීය. හෙතෙම බැඳ ගෙනයනු ලබන ඒ භික්ෂූන් දැක වධකයන් වෙත ගොස් “මා රජුට දන්වන තුරු මොහොතක් මෙහි නැවතී සිටිය මැනවැ”යි කියා රජු වෙතගොස් “මහරජ මම එක් එක් භික්ෂුනමගේ බරට රත්රන් දෙමි; මොවුන් නිදහස් කළ මැනවැ”යි කීය. එයට එකඟ වූ රජ එසේ වේවායි කීය. ගෘහපතියා තිස්හත් නමෙන් තිස්හතර නමක් නිදහස් කරගත් නමුත් ඉතිරි තුන්නම සඳහා දීමට රන් ඔහු ළඟ නැතිවිය. ඉක්බිති අඹුදරුවන් ද සේවකයන් ද ගවමභිෂාදීන් ද දුණි. ඒත් මදිවූයෙන් කෙත්වත් හා ගෙවල් දුණි. එයිනුත් සම්පූර්ණ නොවූ බැවින් තෙමේ දාසභාවයට පත්විය. ඉක්බිති විස්මයට පත් රජ ඒකාන්තයෙන් මොවුන් යම් කිසිවකින් ආඪ්‍යයන් විය යුතුය. මොවුන්ගේ විශේෂය නොදනිතොත් මේ මිනිසා මෙවැනි පරිත්‍යාගයක් නොකෙරේයයි සිතා උපාසකයා කැඳවා “මම මොවුන්ගේ ධර්මය අසනු කැමැත්තෙමි”යි කීය. ඉන්පසු රජ ධර්මය අසා පැහැදී “මාගේ රටෙහි හැම ගම් නියම්ගම්හි විහාරයන් සාදව්”යයි ආඥාවක් කොට ඒ භික්ෂූන්ට උපස්ථාන කෙළේය. උපාසකතැනට මහත් සත්කාර කොට “ඔබ විසින් මම නරකයෙන් මුදවන ලදිමි”යි කීය. ඒ උපාසකයාගේ ගෙය භික්ෂූන්ට දන්සැලක් මෙන් විය.

  1. මිලක්ඛ = ම්ලෙච්ඡ දේශයයි කියනු ලබන්නේ ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණාදී කුල සතර නොපවත්නා දේශයකි. බුරුම සියම් චීනාදි රටවල මේ භේදය නැත. එබැවින් ඒවා ම්ලේච්ඡ දේශයයි ඉන්දීයවාසීහු කියත්.