මෙසේ අසන්ට ලැබේ. සුරට්ඨජනපදයෙහි අච්චිමන්තසේල නමැති පර්වතයක් විය. ඒ පර්වතයේ ගුහාවක ෂඩභිඥා ලැබූ මහත් සෘද්ධි ආනුභාව ඇති රහත් තෙරනමක් වසයි. ඒ පර්වතය ආශ්‍රයකොට වසන එක්තරා ඇත් රජෙක්ද හැමදා ඒ තෙරුන්ට උපස්ථාන කරයි. එක් වැද්දෙක් ඒ ඇතු දැක උදේනි රට රජුට “දේවයන් වහන්ස, ශුභ ලකුණු වලින් යුත්, රජතුමෙකුට යෝග්‍ය වූ ඇතෙක් අසවල් වනයෙහි ඇතැ”යි දැන්වීය. රජ ඌ අල්වන්ට සලස්වා තෙරුන් අවට හැසිරෙමින් හඬන්නා වූ ඒ ඇතා උජ්ජේනියට ගෙන්වීය. තෙරනම ද රජු දැනගෙන උජ්ජේනියට අවුත් ඇතා ඉදිරියෙහි සිටියේය. ඇතා තෙරුන් දැක සොඬය හිසෙහි තබාගෙන බොහෝ සෙයින් හඬන්ට පටන් ගත්තේය. තෙරනම “පුත්‍රය උකටලී නොවෙව; රජු දකින තුරු කිසිවක් නොකළ යුතුය”යි කියා ඔහු අස්වසා ගොස් රජු ඉදිරියෙහි පෙනී සිට මෙසේ කීය: (1) මහරජ, මම එක් ඉල්ලීමක් කිරීම සඳහා වනයෙන් ආවෙමි. ඉදින් ඔබට බරක් නැත්නම් එය කියන්නෙමි. (2) “ස්වාමීනි, කොහි සිට එන්නහුද? ඔබ මාගෙන් කුමක් ඉල්වන්නාහුද? කුමක් සඳහා මෙහි පැමිණිසේක් දැයි මා විසින් විචාරන ලදුව කියනු මැනවැ”යි රජ කීය. (3) “මහරජ, මම සුරට්ඨදේශයෙන් උජ්ජේනියට ආවෙමි. ඒ ආවේ මේ ඇතා නිදහස් කරන ලෙස ඉල්ලීමටය. එය සිද්ධ කරනු මැනවැ”යි තෙරනම කීය. (4) “ස්වාමීනි, බොහෝ දුර සිට ආසේක; ඔබගේ ශරීරය ජරාවෙන් දුර්වලය. මේ ඇතාගේ නිදහස පැතීමට ඔහුගෙන් ඔබට ඇති යහපත කිමෙක්දැ”යි රජ ඇසීය. (5) “මහරජ, මේ ඇතා මාගේ ශිෂ්‍යයෙහි, උපස්ථායකයෙකි. ඉදින් මම මොහු නිදහස් කොට නොගන්නේ නම් මේ තෙම මියයන්නේය.” (6) ඌ ඔබගේ ශිෂ්‍යයා වන්නේ කෙසේද? උපස්ථායකයා වන්නේ කෙසේද? ඌ මරණයට පැමිණෙන්නේ කෙසේදැයි මට විස්තර ලෙස කිව මැනවැයි රජු කීය. තෙරනම මෙසේ කීය. මහරජ, අසනු මැනවි: ඒ ප්‍රවෘත්තිය පිළිවෙලින් කියන්නෙමි: (8) සුරට්ඨජනපදයෙහි පුරාණයේ සිට ප්‍රකට වූ අච්චිමන්ත නම් පර්වතයක් වේ. ඒ පර්වතය පසෙක වූ ලෙණක මාගේ වාසස්ථානය වේ. එහි මම සැපසේ වාසය කරමි. (10) මගේ ලෙණ සමීපයෙහි එක් ඇතින්නක් විසී. ගැබිනි වූ ඕ එහිම පැටියන් වැදී, (11) දරුවන් වැදූ කෙණෙහිම පෙර වෛරිනී වූ එක් යකින්නක් අවුත් ඔවුන් කා දමයි. (12) මේ උපද්‍රවයෙන් පීඩිත වූ ඇතින්න මේ ඇත් පැටවා රැගෙන මාගේ ලෙණට අවුත් (13) තමාගේ සොඬින් ඇත්පැටවා රැගෙන මාගේ අතෙහි තබා පැන් වත්කොට මට පාවා දුණි. (14) යකින්න එය දැක එහි අවුත් පැටවා අල්වන්ට උත්සාහ කරන විට මම ඔහු අතින් වසා ගතිමි. (15) එසේ කළ බැවින් ඌ අල්වාගත නොහැකි වූ යකින්න ආශා විරහිතව නික්ම ගියාය. (16) මහරජ, මෙසේ මට සබඳකම් ඇති මේ ඇත්පැටවා මට උපස්ථාන කරමින් හැමදා එහි වසයි, ඔහු මාගෙන් ආචාරශීලය උගත් බැවින් මාගේ ශිෂ්‍යයෙක් වෙයි. (18) කුඩා කල පටන් මට සම්බන්ධකම් ඇති හෙතෙම මා නොදැක මරණයට පත්වන්නේය. (19) හෙතෙම යන්නා වූ මා අනුව යයි, සිටින විට සිටියි, මා චෛත්‍යයට වඳින විට ඌ ද වඳියි. (20) මා පිඬු පිණිස ගිය විට ඌ කෑම සොයා ගොස් මා එන්ට පළමුවෙන්ම ලෙණ සමීපයට ඇවිත් සිටී. (21) පිශාචියගේ අතින් මිදුණු හෙතෙම ඔබගේ අතට පත්විය. මහරජ, හෙතෙම සැපසේ වෙසේවා.
රජතෙම මෙසේ කීය. (22) “මම ඒ ඇතා මුදන්නෙමි. ඔබගේ අවවාදයත් අනුශාසනාවත් කරමි. මා අපායෙන් මුදවනු මැනවි” (23) රජුගේ අතින් මිදුණු ඒ ඇතා සතුටු සිතැත්තේ ප්‍රීතිමත් වූයේ මොහොතකින් සූරට්ඨදේශයට යන මගට බැස්සේය. (24) තෙරනම ඒ ඇතා නිදහස් කරවා රජුට අනුශාසනා කොට අහසින් ස්වකීය වාසස්ථානයට ගියේය. (25) කල්‍යාණ මිත්‍රයකු කරා එළඹ ඒ ඇතා යක්ෂණියගෙන්ද රජුගෙන්ද මිදී අපායෙන් ද නිදහස් විය. ඒ ඇත්රජ ජීවිතාන්තය දක්වා තෙරුන්ට උපස්ථාන කොට දෙව්ලොවට ගියේය. තෙරනමද එහිදී අපවත් විය.