20. ලෝහ භාජනයේ කථාව

(මෙසේ අසන්ට ලැබේ:) ජනපදයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සුරට්ඨජනපදයෙහි උපසිංහ නම් විහාරයක් විය. ඒ විහාරයෙහි එක්තරා රහත්නමක් සංඝයාගේ ආහාර දමන ලෝහ භාජනය[1] දිනපතා පිදීය. පසුකලක තෙරනම පිරිනිවෙන්ට ලංවූයේ භික්ෂූන් රැස්කරවා රහත් බව ප්‍ර‍කාශ කරමින් සිංහනාදයක් කෙළේය. (1) “රත්නත්‍රයෙහි හෝ මාර්ගප්‍ර‍තිපදාවන්හි යෝ යමෙකුට සැකයක් තිබේ නම් මා විචාරනු මැනවැ”යි එතුමා කීය. (2) “මාර්ග ප්‍ර‍තිපදාදියෙහි අපට සැකයක් නැත. එක් සැකයක් පමණක් අපට ඇත. (3) ඔබවහන්සේ චෛත්‍යයකට බුදු පිළිමයකට හෝ සර්වඥධාතුවකට හෝ නොපුදා සංඝයාගේ ලොහොබඳුනට පූජා කරන සේක. එයට හේතුව කුමක්දැ”යි විචාළාහ. (4) ඒ කීම ඇසූ මනාසේ මිදුණු රහත්නම ඒ කාරණය හෙළිකරමින් මෙසේ කීය: (5) පෙර මම ශ්‍ර‍ද්ධා නැති, පවට බිය නැති අනාර්යයෙක් වී ආරාමය බැලීම පිණිස උපසිංහ නම් විහාරයට පැමිණියෙමි. (6) ඒ පර්වතයට නැගී දන් වලඳන ශාලාව වෙත ගියෙමි. (7) එහි ගොස් සඟසතු වූ ඒ ශාලාවෙහි වටකුරු වූ බබළන්නා වූ තලියක් දුටිමි. (8) පවිටු සොරකම් ඇති ඒ මට ලොහොකැටයම් සහිත එය දුටු කෙණෙහි සොරකම් කරන සිතක් උපන්නේය. (9) එය සොරකමින් ගෙනයාම අපහසු සේ පෙනුණ බැවින් මහණ වී එය ගෙන යන්නෙමි යි සිතා (10) ඒ සොරසිතින් පැවිදි වෙස් ගත්තෙමි. එසේ කොටත් එය ගෙනයන්ට අවකාශයක් නොලදිමි. (11) මම ශ්‍ර‍ද්ධාවෙන් හෝ ප්‍රේමයෙන් උපසිංහ විහාරයට නොපැමිණියෙමි. ලෝභසහගත සිතින් ලෝහ භාජනය නිසා ආවෙමි. (12) ඒ භාජනය ගෙනයනු කැමති පවිටු අදහස් ඇතිව සොරෙකු වූ මට දහම් හැදෑරීමට හෝ භාවනාවෙහි යෙදීමට සිතක් නොවීය. (13) මෙසේ සැඟවී සිටි මා දුටු කාරුණික සිතැති මාගේ උපාධ්‍යායතෙමේ මා කැඳවාගෙන සිය ලෙණට ගියේය. (14) එහි පැමිණි එතුමා අස්නක හිඳගෙන ක්‍ර‍මයෙන් අවවාද කොට මා රහත්ඵලයට පැමිණ විය. (15) මට බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ භක්තියක් නොවීය. මේ ලෝහභාජනය නිසා පැවිදි වීමි. (16) මට ශීලයෙහි හෝ ධ්‍යානභාවනාවෙහි හෝ සයනයෙහි හෝ වස්ත්‍රයෙහි හෝ ආහාරයෙහි හෝ භක්තියක් නොවීය. මේ ලෝහභාජනය නිසා පැවිදි වීමි. (18) එහෙයින් මම මේ ලොහොබඳුනට පූජා පවත්වමි. එය ගෙනයනු කැමතිව ආ මම ස්ථිර පිහිටීමකට පත්වීමි. (19) ලොහො බඳුන අරමුණු කොට මට මෙහි ඇලීමක් ඇතිවිය. මේ කාරණය සිහිපත් කරමින් මම මේ ලෝහභාජනයට පිදුවෙමි. (20) මෙසේ ආර්ය වූ ඒ පණ්ඩිත තෙමේ සියලු සැක දුරුකරවා ධර්ම ප්‍රීති ඇත්තන්ට ප්‍රිය වූ ධර්මය ප්‍ර‍කාශ කොට පිරිනිවියේය.

  1. මෙය “රජනපචන ලොහභාජන = පඬු තම්බන ලොහො බඳුන යයි නිගමන ගාථාවක දකින්ට ලැබුණි.